ජාතිවාදී දේශපාලන න්යායපත්රවලට හසු නොවී රටක් ලෙස ජීවත් වීම සඳහා ජාතික සමඟිය ගොඩනැගීමට ඒකරාශී වෙන්නැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මරදාන සාමයික හා සමාජයීය කේන්ද්‍රයේ අද (18) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
“ගින්දරක් ඇති වුණු ගමන් අහු වෙන බාල්දිය ඔළුවේ හලාගෙන හරියන්නේ නැහැ. ඒ බාල්දියේ පෙට්‍රල් තියෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒවා විසඳිය යුතු ක්‍රමවේද තිබෙනවා. ජාතිවාදය හා ප්රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් වෙන්නේ නැහැ.
ජාතිවාදය පෝෂණය කරන පිරිස් මෙවැනි සිදුවීම් දෙස බලා සිටිනවා. ඔවුන් යැපෙන්නේ ජීවත් වන්නේ ජාතිවාදය මතයි. තිස් අවුරුදු යුද්ධය අපට ඉතිරි කරපු දෙයක් නැහැ. අපට අපේ මිනිස්සු නැතිවුණා. දේපළ නැතිවුණා. අම්මලා තාත්තලා නැති දරුවෝ, දරුවෝ අහිමි වුණු මාපියෝ ඇතුළු විශාල පිරිසක් අද ඉන්නවා. මේ මිනිස්සු විඳින දුක හොඳටම ඇති. වර්ගවාදයේ, ජාතිවාදයේ දරුණුබව තේරුම් ගන්න එය හොඳටම ප්‍රමාණවත්. යුද්ධය අවසන් වෙලා වසර හතක් ගෙවී ගිහින්. එහෙත් තවමත් දෙමළ හා සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ.
මේ ප්‍රහාරයත් සමඟ බොහෝ පිරිස් දැඩි කම්පාවකටත් බියටත් පත්වෙලා. අපි කවුරුවත් මෙවැනි සිදුවීම් අනුමත කරන්නේ නැහැ. සිසුන් සියලු දෙනා එකමුතුව ඉගෙන ගත යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසා තිබෙනවා. එය යහපත් ලක්ෂණයක්.” යැයි ඔහු වැඩිදුරටත් කීය.