‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘


පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වැසියන්ට එරෙහිව පොලිසියෙන් නඩු දමා ඇතත් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු වෙඩි තබා මරා තවත් විශාල පිරිසක් තුවාල කළ ආරක්ෂක අංශයේ පිරිස් තමන් නිදැල්ලේ සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සේවක සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

රතුපස්වල උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට එරෙහිව පොලිසියෙන් නඩු ගොනු කිරීම හා ගම්වාසීන්ගෙන් වන්දි ඉල්ලා සිවිල් නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවක දී ස්ටාලින් මහතා එලෙස කීවේය.

තරුණ නීතිවේදීහු ද, වෘත්තීය සිමිති නියෝජිතයෝ ද, පරිසරවේදීහු ද, රතුපස්වල ගම්වැසියෝ කිහිප දෙනෙක් ද ඊට සහභාගී වූහ.

රතුපස්වල ගම්වැසියකු වන සුරේෂ් පෙරේරා මහතා -

‘රතුපස්වල ජලය අපිරිසිදු වන බවට දීර්ඝ කාලයක පටන් බලධාරීන් සමග සාකච්ඡා කර විසඳුමන් නොලැබුණු නිසා අපි පාරට බැස්සා. අගොස්තු පළමු වැනි දා ආරක්ෂක අමාත්‍යංශයේ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාව අවසන් වෙලා ඊට සහභාගී වූ ගම්වැසියන්ට කිව්වා ජංගම දුරකතන ක්‍රියා විරහිත කරගෙන යන්න කියා. ඒ අතරේ තමයි වෙඩි තිබ්බේ.

ඉන් පසු දිගටම අපි සටන් කළා. වෘත්තීය සමිති නායකයන් හා මාධ්‍යවේදීන් අපට උදව් කළා. අවසානයේ කර්මාන්ත ශාලාව ඉවත් කර ගන්න සිද්ධ වුණා.

අද වන තුරු තුවාල කරුවන් වෙනුවෙන් මොනවත් කරලා නෑ. වතුර අපවිත්‍ර කළාට කම්හලට එරෙහිව මොනවත් කරලා නෑ. විෂ වතුර බීපු ගම්වාසීන්ට මොනවත් දුන්නේ නෑ. පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කල් ගම්වාසීන්ට අයුතු ජනරාෂිය ඇතුළු චෝදනා යටතේ පොලිසියෙන් නඩු දැම්මා. ගස්ලබු පැලයක් පොඩිකළා කියලත් නඩු දැම්මා. දැන් පංසලකට ගැහුවා කියා පංසලේ හාමුදුරුවන් සිවිල් නඩුවක් දාලා අපෙන් ලක්ෂ 12ක් වන්දි ඉල්ලනවා. ‘

ජෝසප් ස්ටාලින් මහතා -

‘වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මිය ගියා. විශාල පිරිසත් තුවාල ලැබුවා. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙලා සිටිය දී රතුපස්වල පන්සලට ගිහින් කිව්වා මාස තුනකින් විසඳුම් ලබා දෙන බව. මහජන සාමය ඇමැතිවරයා වූ ජෝන් අමරතුංග පසුගිය මාර්තු මාසයේ වැලිවේරියට ගිහින් පොරොන්දු වුණා විසඳුම් දෙන බව. අද වනතුරු කිසිම විසඳුමක් නෑ. උද්ඝෝෂණය කළ ගම්වැසියන්ට පමණක් නඩු දාලා.  මේ සම්බන්ධයෙන් ඉදිරියේ සිවිල් සංවිධාන එකතු කරගෙන විශාල විරෝධතාවක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.‘රතුපස්වල වෙඩි තැබූ හමුදා කණ්ඩායම භාරව සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට ගිය ආණ්ඩුවෙන් තානාපති රැකියාවක් දුන්නා. ඔහු පසුගිය දා ලංකාවට ආවා. නමුත් අද වන තුරු අත්අඩංගුවට ගත්තේ නෑ.

වෙඩි තබා සාමාන්‍ය ජනතාව මරා තියෙද්දී මේ ආණ්ඩුවෙන් ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ.

සැප්තැම්බර 15 හමුදා මාධ්‍ය ප්‍රකාශක කිව්වා සති දෙකකින් වාර්තාවක් දෙන බව. තවම වාර්තා නෑ.

වැලිවේරිය පොලිසිය සහ මල්වතුහිරිපිටිය පොලිසිය ගම්වැසියන්ට නඩු දාලා. පංසලකට ගැහුවා කියා හාමුදුරු නමක් ලක්ෂ 12ක් වන්දි ඉල්ලලා නඩු දාලා ගම්වැසියන්ට. නමුත් වෙඩි තැබූවන්ට මොනවත් නෑ. මේ ආණ්ඩුවෙනුත් රතුපස්වල ජනතාව පීඩාවට පත් කරනවා.‘

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ද අදහස් දැක්වීය.

_DSC0168 _DSC0177 _DSC0182