ගම්පහ කිරිඳිවැල පාරේ පිළිකුත්තුව රජ මහා විහාරයේ සෙනසුරාදා (2) මැදියම් රැයේ කළබලයක් ඇතිවූ බවත්, පොලීසිය මැදිහත්ව ප්‍රදේශවාසීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව එය සමථයකට පත් වූ බවත් පොලීසිය කියයි.
සෙනසුරාදා (2) මධ්‍යම රාත්‍රී 12ට පමණ පිළිකුත්තුව රජ මහා විහාරායේ ගල් තලාවක ගිනිගොඩක් දුටු නිසා ගැමියකු එතැනට ගොස් ඇති බවත්, ඒ අවස්ථාවේ කිහිප දෙනකු එහි සිටිනවා දැක නැවත පැමිණි ඔහු වහා ඝාණ්ඨාරය නාද කර ඇති බවත්, ඒ සමග ගම්වාසීන් විහාරස්ථානට ඒකරාශි වී ඇති බවත් ගම්වාසීහු පැවසූහ.
භික්ෂූන් වහන්සේ පහලොස් නමක් ගම්පහ පිළිකුත්තුව රජමහා විහාරයේ පස් දින භාවනා වැඩ සටහනකට සහභාගී වෙමින් සිටියදී පෙරේදා (2) රාත්‍රී එහි කඩා වැදුණු පිරිසක් විහාරස්ථානයේ ගන්ඨාරය නාදකර පිරිස් එහි කැඳවා භාවනා භාවනා වැඩසටහන පවත්වාගෙන යෑමට බාධා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
විහාරස්ථානයේ ගල් තලාවක් මත භාවනා වැඩසටහන පවත්වාගෙන ගිය බවත්, බීමත් පිරිසක් එහි පැමිණ බැනවැදී ඝන්ඨාරය නාද කිරීම නිසා ජනතාව රොක්වීමෙන් කලබලයක් වූ බවත් ඒ හිමියෝ කීහ.
ගල්තලාවට පහළ ලෙනක භික්ෂූන් වහන්සේ පිරිස නවාතැන් ගැනීමට කටයුතු කර තිබූ බව ද ආලෝකය ලබා ගැනීම සඳහා ගිනි මැලයක් දල්වා තිබූ බවද රතනන හිමියෝ සඳහන් කළහ.
කලබලකාරී පසුබිමක් නිර්මාණය වීමෙන් පසු මල්වතුහිරිපිටිය පොලීසිය පැමිණ ජනතාවට කරුණු පැහැදිලි කර දීමෙන් පසු සිද්ධිය එතැනින් අවසන් වූ බව රතන හිමියෝ කීහ.
ගැමියන් කියනුයේ මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම පිළිකුත්තුව විහාරස්ථානයට නිධන් හොරුන්ගේ තර්ජන තිබූ බවයි. ගම්පහ මූලස්ථාන පොලීසියෙන් කාලයක් එහි ආරක්ෂාවට යෙදවූ බවත්, නිධන් හොරුන්ගෙන් විහාරස්ථානය ආරක්ෂා කිරීම සහා තමන් නිරන්තර සෝදිසියෙන් සිටින බවත් ගැමියෝ පවසති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසුයේ එම විහාරස්ථානයේ දින කිහිපයක සිට රාත්‍රීයේ භාවනා වැඩසටහන් පවත්වා ඇති බවය. විහාරාධිපති හිමියන්ගේ ද දැනුවත් භාවයෙන් එම වැඩසටහන් පැවැති බවත්, ඒ ගැන ජනතාව දැනුවත් කර නොතිබූ නිසා අනවශ්‍ය කලබලයක් ඇතිවූ බවත්, ජනතාව දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය සමථයකට පත් වූ බවත් ජයකොඩි මහතා කීවේය.