‘කොස්ගොඩ නඳුන් දැන්ම ගේන්නේ නෑ‘


ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ඉතාලියේ  දී අත්අඩංගුවට ගත් කොස්ගොඩ නඳුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම කල් යන ලකුණු පහළ වී ඇත.

අද ඔහු ශ්‍රී ලංකාවට ගෙන එන බවට ඉතාලියේ වාර්තා පළවුව ද ඔහු ලංකාවට ගෙන ඒමට සති දෙක තුනක් යතියි දැනගන්නට ඇත.

කොස්ගොඩ නදුන් ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොලිසිය මේ දිනවල ලියකියැවිලි සකස් කරන බව පොලිස් ආරංචි කියයි.

සොරකමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව පසුගිය 20 වැනිදා ඉතාලියේ මිලාන්හි ගැරිබාල්දි වැනිත්තියා පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගත්තේය.

 අම්බලංගොඩ ස්වර්ණාභරණ අළෙවි හලක් කොල්ලකෑමට යද්දී පොලිසියට කොටුවී නදුන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බලපිටිය උසාවියෙන් වරෙන්තු ලැබ සිටියේය.

පොලිස් ආරංචි කියනුයේ ඔහු මිනී මැරුම් සිද්ධිය රැසකට හා කොල්ලකෑම් රැසකට හවුල් බවට තොරතුරු ඇති බවයි.

ප්‍රදීප් දේව නදුන් ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් (42) අත්අඩංගුවට ගන්නැයි මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව අන්තර් ජාතික පොලිසියෙන් ඉල්ලීමක් කර තිබිණි.

ශ්‍රී ලංකාවෙන් පැන ගිය කොස්ගොඩ නඳුන් සිංගප්පූරුවට ගිය අතර ඉන් ප්‍රංශයට ගොස් කලක් සිට ඉතාලියට ගොස් සන්නිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේය.

විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක් වූ නඳුන් ධර්මවික්‍රම පාතාල සාමාජිකයන්ට අවි සැපයීමේ සිද්ධියක් මත 1997 දී මුලින්ම පොලිස් අත්අඩංගුවට පත් විය. එවකට ඔහු මඩකලපුවේ සේවය කරමින් සිටියේය.

පසුගිය වසරේ කොස්ගොඩ නඳුන් ලංකාවට එන බවට ලැබුණු තොරතුරක් අනුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අතර ඔහු ලංකාවට නොපැමිණියේය. ලංකාවට පැමිණි ඔහුගේ මිතුරකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් විය.