එල්.ටී.ටී.ඊ සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වාර්තා අනුව ඔහු කිසිදු ත‍්‍රස්ත ක‍්‍රියාවකට හෝ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු නොවන බව පොලීසිය අද(12) අභියාචනාධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරී එම්.ඒ.එම්.නවාස් මහතා විසින් නිකුත් කළ එම වාර්තාව අතිරේක සොලිසිටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
එම වාර්තාවට අනුව රටේ සිදුවූ මංකොල්ල කෑම් , මිනීමැරීම් ආදී අපරාධ සිද්ධීන් වලට අවශ්‍ය පුද්ගලයකු නොවන බව වාර්තාවේ සඳහන් වුවද ඔහුට එරෙහිය තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය තවත් විමර්ශන කර ගෙන යන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රී විජිත හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද (12* අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ මහතා ඉදිරියේදී සලකා බැලූ අතර එහිදී මෙම කරුණු හෙළිවිය.මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය කේ.පී. රටින් පිටවීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන පෙබරවාරි 4 වැනිදා තෙක් දීර්ඝ කළ අතර, ඔහු සම්බන්ධයෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරගෙන යන බව කියන විමර්ශන සහ ඒවා මඟින් අනාවරණය කර ගත් කරුණු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන පෙබරවාරි 03 වැනි දිනට සතියකට පෙර අධීකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.
පෙත්සම්කාර විජිත හේරත් මහතා වෙනුවෙන් නීතීඥ උපුල් වටගලගේ මහතාගේ උපදෙස් මත නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටීයේය.

