ලෝකය අතැඹුලක් සේ ගත් කළ අපි හැමෝම මිනිස්සු, උස් මහත් වර්ණ භේද සියල්ල ගත්තද, අපි එකම තලයක මානවීය ජාතියක්. අපි ඔක්කෝටම එකට උණුසුම විඳගත හැකි දිනක් පැමිණෙන්නේ නම් ලෝකය කොතරම් සුන්දරදැයි මම සිතමි. ඊයේ රාත‍්‍රියේ දිගු ගුවන් සංචාරයක නිරතව සිටියදී ඒ හිස් අහස දෙස බලමින් ඇයි අපට බැරි එක පවුලක් වගේ ජීවත් වෙන්න කියන දේ මම කල්පනා කළෙමි.
ඔබ නිරන්තරයෙන් රට-රටවල සංචාරය කරනවා, ඒ යන එන අතරවාරයේදී ඔබට අපේ රට ගැන කොහොමද දැනෙන්නෙ යන්න, ශ‍්‍රියන්ත මෙන්ඩිස් නමැති ඒ ප‍්‍රවීණ රංගධරයාගෙන් අපි විමසුවෙමු.
ඒ ඔහු ඊට ලබාදුන් පිළිතුර විය. සැබැවින්ම එය සිහිවිකල්ලකට එහා ගිය අදහස් පෙළක් ලෙස ඔහුගේ නවතම වේදිකා නාට්‍ය වන හෙට අනිද්දා දිනෙක සිට වේදිකාගත වීමට නියමිත ”සුදු සහ කළු” නාට්‍ය සමග ඔබට වින්දනය කර ගත හැකි වේවි. එසේ තිබියදී මේ දිනවල විකාශය කෙරෙන කුටු කුටු මාමා, විෂ්ණුභූ සංක‍්‍රාන්තිය සමග තවත් අපූරු චරිත රංගනයක නිරත වන ශ‍්‍රියන්ත සමග තවත් සුන්දර කතා බහකට එක්වෙමු.
ගිනි අවි සහ ගිණි කෙළී නාට්‍යයේ තුම්මුල්ලේ පද්මෙගෙ චරිතයෙන් ඔබ ඉවත් වුණේ ඇයි?
ඉවත් වුණේ නැහැ. කොහොමටත් මම ඊට දායක වුණේ ප‍්‍රතිපත්තිමය කාරණා මුල් කරගෙනයි. එනම්, කොටස් සීයකට ඇතුළත පමණක් දායක වෙනවා යන්නයි. ඉතින් හරියටම කොටස් 99 දි මම අධ්‍යක්‍ෂ සාරංග මෙන්ඩිස්ට කිවෙ මාව මරලා දාන්න කියලයි. පද්මෙ කියන්නෙ මම දුක් විඳලා මහන්සිවෙලා ගොඩ නගාගත් චරිතයක්. මම කියලා කොටස් 99 න් ඉවත් වුණත්, මම රචකයා ළඟට ගිහින් ඇයි මට වෙඩි තිබ්බෙ කියාත් ඇහුවා. කොහොම වුණත්. මම ඊළඟ පරම්පරාවට බැට්න් එක දුන්නා. දැන් ඒ පරම්පරාවේ ශිල්පීන් ඒක නිවැරදිව ඉදිරියට ගෙන යනබව පෙනෙනවා.
හොඳයි, පද්මෙ දැන් ඉවරයිනේ. දැන් අපි ඔබ අමතන්න ඕනෑ මොන විදියටද?
කුටු කුටු මාමා කිව්වත් හොඳයි, පද්මෙ කිව්වත් හොඳයි. ගින්දර වගේ ඇමැතිවරයා කිව්වත් හොඳයි, ඒ ඔක්කෝටම, එනම් ඒකටත් ඒකටත් මම ආදරෙයි.
ඇයි ඔබ එහෙම ඒකටත් - ඒකටත් චරිත වලට ආදරේ?
ඔබ අහපු ඒ ප‍්‍රශ්නයටත් මම ආදරෙයි. ඒකට හේතුව මම හොඳ මානව හිතවාදියෙක්. පරිසරවාදියෙක්, යහපත් මිනිසුන් ජිවත්වන දේශයක් උදෙසා මානවයින්ගේ නිදහස, සතුට, සාමය යන සියල්ල වෙනුවෙන් කෙරෙන දේට මම ආදරෙයි. මට ඒක ලෝකය වටා යද්දී තදින්ම දැනෙන දෙයක්.
මෑතකදී ඒ විදියට දැනුණ අවස්තෘවක් ගැන සිහිපත් කළොත්?
සුරිච් ගුවන්තොයුපළේ සිට මම ශ්‍රී ලංකාව බලා ඒමට සූදානමින් සිටියා. එතැන රූපවාහිනී නාලිකාවක් සඳහා (එරට) සංගීත වැඩ සටහනක් කෙරෙමින් තිබුණා. ඒ වැඩ සටහනට කලූ ජාතික සංගීත ශිල්පියෙකුත් ඇතුළත් වුණා. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වග මම දැනගෙන හිටියෙ නැහැ. අර මහා සෙනග අතරේ ඔහු ”ආ ශ‍්‍රියන්ත අයියා පට්ට ආ” පද්මෙ චරිතෙ නියමයි ආ කියලා කිව්වා. ඇත්තටම ඔහු බෙර ගගහා සිටින අතරවාරයේදී තමයි එහෙම කිව්වේ. ලෝකයේ කොතැන සිටියත් කොතැන ගියත් අපේ ලෙංගතුකම මිත‍්‍රශීලීබාවය කොතරම්ද කියලා මට දැනුනා. ඒ ශ්‍රී ලාංකීය බවට මාත් හරිම ආදරෙයි.

කොහොම වුණත්. දැන් මිනිස්සු කතා වෙන්න සූදානම වන්නේ ”කුටු කුටු මාමා” චරිතය ගැනයි. ඒ ගැන කියමු.
රවීන්ද්‍ර විජේරත්නගෙ අධ්‍යක්‍ෂණයට තරංග දිසානායක නිෂ්පාදනය කළ ස්වාධීන රුපවාහිනිය විකාශය කෙරෙන මේ නාට්‍යයේ කුටු කුටු මාමා කියන්නෙ සහෝදරියන් සිටින පවුලක මද්දුමයා. වැඩිහිටි සහෝදරියන්ට මද්දුමයා. ඊට පසු සහෝදරියන්ට මද්දුම අයියා, අම්මට මද්දුම පුතා, සහෝදරියන්ගෙ දරුවන්ට කුටු කුටු මාමා. එහි මගේ අම්මට ඉන්නෙ අයිරාංගනී සේරසිංහ මැතිණිය. වැඩිමල් සහෝදරියන්ට නීටා ප‍්‍රනාන්දු, ප‍්‍රියා රණසිංහ දායක වෙනවා. බාල සහෝදරියනට කෞෂල්‍යා ප‍්‍රනාන්දු, දමිතා රඟපානවා. ඒ චරිතය ඇතුළෙ මම හරි වාසනාවන්තයි. මොකද ඊළඟ පරම්පරාවේ අයත් ඊට දායක වෙනවා. මම ඒ චරිතයට හරි ආදරෙයි.
හැබැයි එහෙම කිව්වට අද දවසේ ඔබ මේ සියල්ලට වඩා ආදරය කරන තවත් චරිතයක් තිබෙනවා. ඒ තමයි ”සීයා” ගෙ චරිතය. ඔබ සැබෑ ජීවිතයෙ දැන් ”සීයා” වෙලා ඉවරයි. එය දැනෙන්නෙ කොහොමද?
මගේ පරම්පරාවේ පළමු සීමා මමයි. ඒ ගැන මහා ආඩම්බරයක් මට තියෙන්නේ. සීයලා ආච්චිලාට මිණිපිරි මුණුපුරෝලා ඔටුණු කියලා කතාවක් තියෙනවනෙ. මගේ මිණිපිරිය මට ඔටුන්නක්. ඒ ඔටුන්න පැළදි මගේ මිණිපිරිය නිසා මට අද දැනෙන්නෙ විග‍්‍රහ කල නොහැකි තරමේ ආඩම්බරකමක්, සතුටක් ආත්ම අභිමානයක්.
එහෙම නම් ”විෂ්නු භූ සංක‍්‍රාන්තියෙ” චරිතය ගැනත් යමක් කියමු?
ඒකත් මානවීය චරිතයක්. එකම පුත‍්‍රයා සමාජයේ ඉහළ පවුලකින් පේ‍්‍රමනීය සබඳතාවයන් ඇතිකර ගන්නා නිසා ඔහු ඝාතනය වෙනවා. ඔහුගේ මිනිය ළඟ තියාගෙන ඔහුව නැගිට්ටන්න හදන උත්සාහයක්. දරුවන්ට මිනිස්සු කොච්චර ආදරේද යන වග අපූරුවට ප‍්‍රකාශ කෙරෙන තේමාවයක්. ඒකටත් මම ආදරෙයි.




