‘කෑම ඔතන්න විකල්ප සොයන්න වෙයි‘


පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස කෑම ඔතන කොළ (ලන්ච් ෂීට්) හා රිජිෆෝම් පෙට්ටි නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා නීති සකස් කර ඇති බවත් ඒ සඳහා ජනපති අනුමැතිය ලැබී ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂක එච්. එස්. ප්‍රේමචන්ද්‍ර  මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික් පරිසර කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදී ඒ බව කී ප්‍රේමචන්ද්‍ර මහතා ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති බව කීවේය.

‘පරිසරට අහිතකර මෙවැනි නිෂ්පාදන භාවිතයට පහසු නිසා හැමෝම පාවිච්චි කරනවා. පරිසරයට වෙන බලපෑම ගැන හිතන්නේ නැහැ. අපි මෙවාට විකල්ප එනකල් සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒත් විකල්ප එන්නේ නැහැ. මේක නැති වුණොත් ව්‍යාපාරිකයෝ විකල්ප හොයා ගනීවි. ඉන්දියාවේ පාවිච්චි කරනවා ගස්වල කොළ වලින් නිෂ්පාදනය කරපු බඳුනක්. මේ බඳුන පරිසර හිතකාමී එකක්. සති දෙකෙන් දිරනවා. අපේ රටෙත් මේ වගේ පරිසර හිතකාමී දේවල් තියෙනවා. ඒත් ඒ ගැන හිතන්නේවත් නැහැ. පොලිතීන් වගේ අහිතකර ද්‍රව්‍ය දිගටම පාවිච්චි කරනවා‘ යැයි ද ඔහු කීවේය.

මයික්‍රොන 20ට වඩා ඝනකම අඩු පොලිතීන් තහනම් කර ඇති නිසා නිෂ්පාදනය කරන හා විකුණන ස්ථාන සොයා වැටලීම් සිදු කරන බවද ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.