‘කැමරාවත් තුවක්කුව වගෙයි‘ - සුජීව සේනසිංහ


ජනතාවට ඉමහත් සේවයක් වන පෙත්සම් කාරක සභාවට කිසිදු දිනක සහභාගී නොවූ මන්ත්‍රීන් පිරිසක් සිටින බවත්, ඔවුන් සම්බන්ධයෙන් කතානායකවරයා දැනුම්වත් කරන බවත් මහජන පෙත්සම් කාරක සභාවේ සභාපති රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

කැමරාව ද තුවක්කුව හා බලවත් ආයුධයක් බව ද, ඇතැම් මහජන නියෝජිතයන් වැඩ කරන්නේ කැමරාව ඉදිරිපිට දී පමණක් බව ද, සැබෑ ලෙස මහජනතාවට සේවය වන පෙත්සම් කාරක සභාවට සහභාගී වන මන්ත්‍රීවරුන් අගය කළ යුතු බව ද සේනසිංහ මහතා කීවේය.

මහජන පෙත්සම් කාරක සභාවේ හය වැනි වාර්තාව එළි දැක්වීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

2013 ජනවාරි පළමු වැනි දා සිට 2015 ජුනි 26 වැනි දා දක්වා මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් 1366ක් ලැබී ඇතැයි ද, ඉන් 334ක් ස්ථාවර නියෝගවලට අනුකූල නොවන නිසා ප්‍රතික්ෂේප වූ බව ද, පෙත්සම්කරුවන් 92කට සහන ලබා දුන් බව ද  හය වැනි වාර්තාවේ සඳහන් වේ.