‘කැත නැතුව නාන්න බේරේ වැව හදන්න යයි ‘


(අංජුල මහික වීරරත්න)

කොළඹ බේරේ වැව පතුල පෙනෙන ලෙස මාස හයක් ඇතුළත නොමිලේ පිරිසිදු කර දෙන්නට ජපානයේ සමාගමක් ඉදිරිපත්ව සිටී.

බේරේ වැවේ වෙසෙන  බැක්ටීරියා පාවිච්චි කොට අදාල පිරිසිදු කිරීම් කරන බව ව්‍යපෘතිය බාරව කටයුතු කරන ජපානයේ ග්‍රොපෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මසසි ඔත්සු මහතා පැවසීය.

බේරේ වැවේ ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට අදාල ජපන් සමාගම විසින් වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන තුනකි.

"බේරේ බේරා ගමු" ව්‍යපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹ ගලධාරී හෝටලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජපාන සමාගමේ විධායක නිලධාරී මසසි ඔත්සු මහතා පැවසූයේ මේ වන විට බේරේ වැව පතුලේ ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අක්‍රීය තත්ත්වයකට පත්ව ඇති බවයි. 

ජපානයෙන් ගෙන්වූ විශේෂිත යන්ත්‍ර වල ආධාරයෙන් බේරේ වැව පතුලට ඔක්සිජන් සැපයුම ලබා දී එහි බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කොට එම බැක්ටීරියා ආධාරයෙන් අප ජලය පිරිසිදු කිරීම තම ආයතනය අනුගමනය කරන ක්‍රමවේදය බවද මසසි ඔත්සු මහතා කීය.