‘කාල්ටන්’ සත් සාමාජික දේශිය තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දකුණ ශාක්ස් පිලට


‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව සංවිධානය කරන දේශිය ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේ නුවරඑළිය තුරඟ තරග පිටියේ පෙරේදා (30 වැනිදා) අවසන් වූ දේශීය තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගැනීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් දකුණ ශාක්ස් පිල සමත් විය. ප‍්‍රදීප් ලියනගේ මෙහෙයවන උතුරු මැද ටයිෆූන්ස් පිලට අනු ශූරතාව හිමිවිය.

පළමු අදියර අවසන් මහා තරගයේදී දකුණ ශාක්ස් පිල විසින් උතුරු මැද ටයිෆූන්ස් පිලට එරෙහිව ලකුණු 28-26 ක තියුණු ජයක් ලැබීය.

පළමු අදියරේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ෆාෂීල් මරීජා මෙහයෙවන උතුර ග්ලැඩියේටර්ස් පිල විසින් ලකුණු 31-12 කින් සෙනාල් ඩයස් මෙහෙයවන නැගෙනහිර ඊගල්ස් පිල පරාජය කරන ලදී.

‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස මෙම දේශීය තරගාවලිය පැවැත්වේ. මෙම තරගාවලියේ දෙවැනි අදියර ජූලි මස 6 සහ 7 දෙදින නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ප‍්‍රබල විදෙස් ක‍්‍රීඩකයන් 40 කට වැඩි සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ ජාත්‍යන්තර තරගාවලියේ පළමු අදියර මේ මස 27 සහ 28 දිනවල ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහි දෙවැනි අදියර අගෝස්තු මස 2 සහ 3 දෙදින කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

පළමු දේශීය තරගාවලිය අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහන

ස්ථා.    කණ්ඩායම           ප‍්‍ර.ල
1.     දකුණ ශාක්ස්             25
2.    උතුරු මැද ටයෆූන්ස්      22     
3.    උතුර ග්ලැඩියේටර්ස්      19
4.    නැගෙනහිර ඊගල්ස්        16
5.    බස්නාහිර වොරියස්       13
6.    ඌව වයිපර්ස්             11
7.    වයඹ බ්ලැක්ස්             9
8.    මධ්‍යම කිංග්ස්             7
9.    සබරගමුව ස්ටැලියන්ස්    5
10.    යාපනය චැලෙන්ජර්ස්     3