‘ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් බෑ : මුරලිගේ තීරණයේ දෙපැත්තක් තියෙනවා‘


තමන් ක්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බවත් අපේ රටේ ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් බැරි නිසා දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව දීමට කැමැති නැති බවත් හිටපු ක්‍රිකට් නායක හා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා අද (26) කොළඹ දී පැවසීය.

‘ක්‍රිකට්, ඔලිම්පික් සහ 20 විස්ස‘ මාතෘකාව යටතේ අද ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේ පැවැති සංවාදයකදී රණතුංග මහතා එසේ කීවේය.

‘මම මුරලි නම් ඔය වැඩේ බාරගන්නේ නැහැ. නමුත් මුරලි ඒක බාර අරන් තියෙනවා. ඒක හරිද නැද්ද කියලා අපි පැති කිහිපයකින් බලන්න ඕනේ. ඕස්ට්‍රේලියාවේදී අපට අඩම්තේට්ටම් කළා. මුරලි පන්දුව දමා ගහනවා කියලා දෝෂාරෝපණය කළ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයම මුරලිදරන් ගන්න හදනවා පුහුණුකරුවෙක් හැටියට. එතැනදී අපි ලෝකයට ඔප්පු කරලා තියෙනවා අපි කළ දේ හරි කියලා. පොඩි කාලයකට හරි මෙවැනි කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරීමෙන් මුරලිදරන් ජයග්‍රහණය කළා. ක්‍රිකට් ආයතනය තේරීම් කමිටුවේ හිටපු සනත් ජයසූරිය ඉවත් කළා. එරික් උපශාන්ත ඉවත් කළා. පුෂ්පකුමාර ඉවත් කළා. චමින්ද වාස්, උපුල් චන්දන ඉවත් කළා. ඒ වෙනුවට විදේශීය පුහුණුකරුවන් ගෙනාවා. ක්‍රිකට් ආයතනයට ක්‍රිකට් දැනුම නැහැ. ඒ අය බලන්නේ තමන්ට පාලනය කර ගන්න පුළුවන් මුදලක් දීලා හෝ තානාන්තරයක් දීලා යටත් කරගන්න පුළුවන් පුද්ගලයින්ට තනතුරු දෙන්න. අද ක්‍රීඩා ඇමැතිවරයා ක්‍රිකට් ආයතනයට වඩා පහළින් ඉන්නවාද කියලා සැකයක් තියෙනවා.‘ යැයිද ඔහු සඳහන් කළේය.