‘ක්ෂණිකා ක්ෂණිකව යවනු‘


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගමට සිය තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් මඟින් කියයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ විධායක සභාව මෙම තීරණය ගෙන ඇති අතර කොමිසමේ සභාපතිධූරය දරමින් ප්‍රසිද්ධියේ දේශපාලනයේ නිරතවීම, රාජ්‍ය සේවකයකුගේ බලය දේශපාලනීකරණය වීම, ආචාර්යවරු අරගල කරමින් විශ්ව විද්‍යාලයන්ට ප්‍රතිපාදන වෙන් කිරීම ඉහළ දැමීමට කළ ඉල්ලීම් පිළිබඳව නොසලකා හැරීම, ආචාර්යවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ඇතිවූ ගැටලු ඇයට එරෙහිව ඇතැයි එම නිවේදනය කියයි.

උදාහරණ ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකුගේ උසස්වීම නැවැත්වීම යැයිද, ඇතැම් විශ්ව විද්‍යාලයන්හි පත්වීම් විධිමත් නැතැයිද, මන්ත්‍රී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ලිපියක් අනුව සුදුසුකම් නොලත් සිසුවියක් රුහුණ විශ්ව විද්‍යාලයට බඳවා ගෙන ඇතැයිද, අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් සඳහා ඊට නුසුදුසු නිලධරයකු සහභාගි කරවීම වැනි කරුණු පදනම් කරගනිමින් ඇය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යැයිද  දන්වා සිටියි.

ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළැඹෙන බවත් අධ්‍යාපනය අගතිගාමී තත්ත්වයට ඇද දමා අධ්‍යාපනයේ අර්බුදයක් ඇති නොකරන්නැයි ඇගෙන් ඉල්ලන බවත් ආචාර්ය සම්මේලනය කියයි.