අධ්‍යාපන බලධාරීන් තමන්ගේ වාසියට නොයෙක් දේ කියූවත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් අය කළ නොහැකි බව ලංකා ගුරු සංගමය අවධාරණය කරයි.
1982/2 දරණ පාසල් සංවර්ධන සමිති චක්‍රලේඛය, 2008/37 දෙක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය, 2008/41 ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම්වල ක්‍රියාකාරකම් පිළිබඳ චක්‍රලේඛය, 2008/35 පාසල් නගා සිටුවීමේ නියාමන වැඩසටහන් චක්‍රලේඛය සහ 2012/19 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය යන අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛවලට අනුව සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
2008/37 දෙක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ 6.0 වගන්තියෙන් දක්වා ඇත්තේ සිසුත් ඇතුළත් කිරීමේදී සහ ඉන් පසුවත් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හැර වෙනත් මුදලක් අය කළ නොහැකි බවයි. එම වගන්තිය මෙසේය.
‘සියලුම රජයේ පාසල් හා ගාස්තු අය නොකරන පෞද්ගලික පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල හැර වෙනත් ගාස්තු හෝ ආධාර මුදල් හෝ වෙනයම් බඩු බාහිරාදියක් හෝ අයකිරීම/ලබාගැනීම සම්පූර්ණයෙන් ම තහනම් වේ. ළමයින් ඇතුළත් කිරීමෙන් පසුව ද එවැනි බලපෑමක් නො කළ යුතු වේ. මෙලෙස බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී වන අතර එවැනි අවස්ථාවල ඒ සම්බන්ධ ව දැඩි ලෙස ක්‍රියා කිරීමට සිදු වනු ඇත. පාසල් ප්‍රධානීන් හෝ පාසලට සම්බන්ධ වෙනත් කවර සංවිධානයක් හෝ එලෙස බලපෑම් නොකළ යුතු ය. මෙහි දී සංවිධාන යන්නෙන් ආදි ශිෂ්‍ය සංගම්, පාසල් සංවර්ධන සමිති ඇතුළු පාසලට සම්බන්ධ වූ සියලු ම සමිති හා සංගම් අදහස් කෙරේ.‘
2008/41 ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් සංගම්වල ක්‍රියාකරකම් චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් අධ්‍යාපන ලේකම් වරයා කියා ඇත්තේ පාසල්වල ක්‍රියාත්මක වන ආදි ශිෂ්‍ය සංගම් හා වෙනත් විවිධ සංගම් විසින් පාසල තුළ යම් යම් ව්‍යාපෘති සඳහා විදුහලට දරුවන් ඇතුළත් කිරීමේ දී හා පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් විවිධ ආකාරයට මුදල් එකතු කරන බව විගණන වාර්තා හා පැමිණිලි මගින් අනාවරණය වී ඇති බවයි.
එම චක්‍රලේඛය අනුව එලෙස මුදල් එකතු කළ නොහැකිවා සේම එවැනි දේට නිලධාරීන් විසින් අනුමැතිය ද ලබා නොදිය යුතුයි. එම චක්‍රලේඛයයේ තුවැනි වගන්තිය සහ පස් වැනි වගන්තිය මෙසේය.
‘03) ආදි ශිෂ්‍ය සංගම්/වෙනත් සංගම් විසින් පාසල තුළ හෝ බාහිරව සිසුන් යොදා ගනිමින් විවිධ ව්‍යාපෘති සඳහා මුදල්/භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම, පාසල් සිසුන්ගෙන්/ දෙමාපියන්ගෙන් යම් යම් හේතු දක්වා මුදල්/භාණ්ඩ එකතු කිරීම හෝ ලබා ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබේ. එසේම ඉහත සංගම් මගින් දෙමාපියන්ගෙන් හෝ සිසුන්ගෙන් සේවා සපයා ගැනීම ද තහනම් කරනු ලැබේ. මෙවැනි විවිධ සංගම්වලට පාසල තුළ මුදල්/ භාණ්ඩ එකතු කිරීමට හෝ සේවා ලබා ගැනීමට නිලධාරීන් විසින් ද අනුමැතිය ලබා නොදිය යුතු ය.‘
‘05)මින් ඉදිරියට මෙම උපදෙස් තරයේ පිළිපැදීමට සියලු විදුහල්පතිවරුන් ක්‍රියා කළ යුතු ය. යම් විදුහලක එම උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති බව අනාවරණය වුවහොත් අදාළ විදුහල්පතිවරුන් එයට වගකිව යුතු බව අවධාරණය කරමි.‘
2008/35 පාසල් නගා සිටුවීමේ නියාමන වැඩසටහන් චක්‍රලේඛය යටතේ ද මුදල් ගෙන ඒමට සිසුන්ට බල කිරීම තහනම්ය.