‘කතාවේ හැටියට කෙරුවාව නෑ‘


ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරු පැදි ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දුවක් ලබාදුන් බවත් ඒ අනුව යතුරුපැදි අයදුම් කළ තමනට මේ වන විට අමාත්‍යංශය යොමුකර ඇති ලිපියට අනුව එම පොරොන්දුව කඩකර ඇති බවත් ජනමාධ්‍යවේදීන් රැසක් තම සංගමයට දන්වා ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකට ලිපියක් යොමු කරමින් පවසයි.

දැනට වෙළඳපොළේ ඇති යතුරුපැදියක් මිලට ගැනීමට ණයක් ලබාදෙන බවට ලිපියේ දැක්වෙන බවත් මෙය පසුගිය මහින්ද රාජපක්ෂ රජය ජනමාධ්‍යවේදීන්ට බැංකු මගින් ලබාදුන් ණය ක්‍රමයම බවත් එම ලිපියේ සඳහන්ය.

එසේම පසුගිය ආණ්ඩුව ලබාදුන් ණය ක්‍රමයේදී ආණ්ඩුව විසින් ගෙවන බවට පොරොන්දුවූ පොළී ප්‍රතිශතයද බැංකුවලට නොගෙවීමේ තත්ත්වය මත එම සම්පූර්ණ පොළී මුදලම ගෙවීමට ජනමාධ්‍යවේදීන්ට සිදුවූ බවත් මේ වනවිට වත්මන් ණය යෝජනාවේ ඇති ආණ්ඩුව විසින් ගෙවනවා යැයි කියන පොළී ප්‍රතිශතයද තමන්ට ගෙවීමට සිදුවේද යන්න සැකයක් ඇතිවී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් නිකුත් කළ එම ලිපිය ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ හා ප්‍රධාන ලේකම් දුමින්ද සම්පත් මහත්වරුන්ගේ අත්සනින් යුතුව ඇමැතිවරයාට යොමු කර ඇත.