‘ඕමාන් පිරික්සුම ඈලියාවට : වැරැද්ද මාධ්‍ය පිට පටවන හැඩ‘


ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී හාම්පුතා අතින් අතවරයට පත්වූ අම්පාරේ කතකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටු වාර්තාවෙන් පෙනී යන්නේ මෙවන් සිදුවීම් වාර්තා කිරීමෙන් වළකින්නැයි මාධ්‍යයට  දෙන සංඥාවක් බව ‘එතෙර අපි‘ සංවිධානයේ සභාපති සුනිස් හඳුන්නෙත්ති මහතා කීවේය.

හඳුන්නෙත්ති මහතා එලෙස කීවේ එම කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

‘මේ කමිටුව කරන්න තිබුණේ ඕමාන් රජයත් එක්ක ඒකාබද්ධ වුණු පරීක්ෂණයක් පවත්වන්න. ඕමාන් පොලිසිය මේ ගැන විමර්ශනයක් ආරම්භ කර තිබුණා. අපේ පරීක්ෂණ කමිටුව මොකද කියන්නේ දූෂණය වහලා ගැබ්ගෙන නැහැ, ගබ්සාවක් වෙලත් නැහැ කියලා කමිටු වාර්තාවක් පෙන්නල අත හෝදගන්න හදන්නේ. අවසානේ බලද්දි මොකුත් වෙලා නෑ. වෙලා තියෙන එකම දේ තමයි මේ වෙනුවෙන් පරීක්ෂණ කරපු ඕමාන් තානාපති ගෙදර ආපු එක. ඒ කාන්තාව ලංකාවට ගෙනාපු එක.

මේ ගැන තියපු මාධ්‍ය සාකච්ඡාවෙදි කියා තිබුණා ඇය ලවා බලහත්කාරයෙන් ලියුම් අත්සන් කරවා ගත් බව. ඇය ලවා ලියුම් අත්සන් කර ගත්තා නම් එහෙම කරපු ලොකු මිස්ලා පොඩි මිස්ලා ගැන ගැන කළ පරීක්ෂණේ මොකක්ද? ඒ අය තාමත් එහේනේ. මේ කරන්නේ වෙන මොනවත් නොවේ වැරදි කරන අය ආරක්ෂා කිරීම. දැන් මෙතන ලොකුම පුදුමෙ තමයි ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩ කරන්නේ ලංකාවෙන් ගිහින් ලංකාවට විදේශ විනිමය ගේන කාන්තාව සම්බන්ධයෙන් නොවේ, ඒ අතවරය කළ ඕමාන හාම්පුතා වෙනුවෙන්. අවසානයේ සුරක්ෂා නිවසේ නිලධාරීන්  මේ කාන්තාවට කළ අසාධාරනේ වහලා දාලා අතහෝදගන්නවා. අවසානයේ වැරදි කාරයෝ කරන්න යන්නේ දැන් මාධ්‍යය. මේ ප්‍රශ්නෙ මතු කරපු මාධ්‍යය විදේශ සේවා නියුක්ති කාර්යංශයට කැළලක් කළා කියා හංවඩුවක් ගහන්න යන්නේ. ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්න යන්නේ විදේශ සේවා නියුක්ති කාර්යංශය අවමානයට ලක් කිරීම ගැන. මේ කමිටුව ඕමානයට ගිහින් තියෙන්නේ කාන්තාවට අතවරයක් වුණාද කියා පරීක්ෂණයක් පවත්වන්න නොවේ. මේ සිදුවීම රටට කියපු නිසා මාධ්‍යවේදීන් සහ අපත් ඇමැතිවරයාට අපහාසයක් කළාද නැද්ද හොයන්න තමයි ගිහින් තියෙන්නේ. අපි වගකීමෙන් කියනවා මේ සිද්ධියෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය ඔප්පු කර තියෙනවා ඔවුන් විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියා. ‘

‘එතෙර අපි‘ සංවිධානයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කතා කළේය.