ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න කලක සිටම ඡන්ද භාරව කටයුතු කරයි.
අගෝස්තු 17 වැනි දා ඡන්දයේ ආරක්ෂාව ඇතුළු පොලිස් රාජකාරි ඔහු අතේය.
පළපුරුද්ද අතින් ඔහු මුල්තැනක සිටී. වසරකට සේවා දිගුවක් ද මෑත දී ඔහුට ලැබුණේය. යහ පාලන රජයේ ඇමැති මණ්ඩලය ඒ සේවා දිගුව දුන්නේය.
ගුරුන්ටත් අකුරු වරදින න්‍යාය ඔහුටත් අදාලය. සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුනට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හා පොලිස් අධිකාරීවරුන්ට, දිසා භාර නිලධාරීන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුනට ඔහු හදිසි චක්‍රලේඛයක් යැවීය.
එහි පිටු පහකි. අංකය අටයි. නිල ඡන්ද දැන්වීම්පත් බෙදා හැරීම සඳහා තැපැල් ඡන්ද දායකයනට රක්ෂණ පැකැට්ටු බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහු මේ චක්‍රලේඛය යවයි. බැලූ බැල්මට එය අගෝස්තු 17 වැනි දා ඡන්දයේ නිල ඡන්ද පත්‍රිකා සම්බන්ධ චක්‍රලේඛයක් බව පෙනේ.
එහෙත් චක්‍රලේඛයේ මාතෘකාව යොදා ඇත්තේ ‘ජනාධිපතිවරණය - 2015.01.08‘ යනුවෙනි.
සිරත්සලය එසේ යොදනා ඔහු ඔහුගේ උපදෙස අනුව රක්ෂණ පැකට්ටු ආදිය 2015.07.24 වැනි දා පෙරවරු 8.30ට සිදු කිරීමට නියමිත බව දක්වා ඇත. ඒ අනුව කොතැනක හෝ ලොකු වැරැද්දක් වී ඇති බව පෙනී.
නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් ප්‍රධානීන් කිහිප දෙනකුම පැවසුවේ එය පරණ චක්‍රලේඛයක් බවයි. ජනපතිවරණයේ චක්‍රලේඛ දැන් එවන්නේ කුමටදැයි කොස්තාපල්වරයකු ඇසූ ඇසූ ප්‍රශ්නයෙන් තමා උඩ ගොස් බිම වැටුණු බව එක් පොලිස් ප්‍රධානියෙක් කියයි.
මෙහි පිටපත් ඡන්ද කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද යවා ඇත.
ගාමිණී නවතරන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන හා මැතිවරණ) යනුවෙන් නවරත්න මහතා එහි අත්සන් තබා ඇත. ඔහුගේ නිල මුද්‍රාව ද එහි ඇත.
මෙය සුළු වැරදීමක් හෝ අතපසුවීමක් සේ සැලකිය නොහැක.


