‘ඒ ප්‍රහාරය මෛත්‍රී - රනිල් යුගයට නොගැලපේ‘ - මංගල


උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව උපාධි පාඨමාලවක් ලෙස පිළිගැනීම ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුනට පහරදීම වත්මන් රජය පසුගිය රජය හා සමාන බවට පෙන්වීමට උත්සාහයක් දැයි සැකයක් මතුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

රාජපක්‍ෂ රෙජිමය සහ සිරිසේන - වික‍්‍රමසිංහ පාලනය අතර කිසිම වෙනසක් නොමැති බවට පෙන්වමින් එම ප්‍රහාරයෙන් පසුගිය මිලේච්ඡ යුගය සාධාරණීය කරන්නට උත්සාහ ගැනීමක් බව පෙන්නුම් කරන්නේ යැයි මංගල සමරවීර මහතා කියයි.

‘ශිෂ්ටසම්පන්න සමාජයක අදහස් ප‍්‍රකාශ කිරීම මෙන්ම, උද්ඝෝසණය කිරීම ද කෙනෙකුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකි. එම උද්ඝෝෂකයින් එම අවස්ථාවේදී ප‍්‍රචණ්ඩත්වයට හා කළහකාරී ලෙස හැසිරීමට යොමු වුවත් ඒවා මැඩ පැවැත්වීමේ පිළිගත් ක‍්‍රමවේදයන් තිබේ. නමුත් පුවත්පත්වල සහ සමාජ වෙබ් අඩවිවල ඇති ඡායාරූප අනුව පොලිසිය මෙම උද්ඝෝෂණය පාලනය කිරීමට හා ඔවුන් විසුරුවා හැරීමට කි‍්‍රයා කර ඇත්තේ ඉතාමත් සාහසික අන්දමින් බව මනාව පැහැදිලි වේ.‘

මෙවැනි සාහසික කි‍්‍රයාමාර්ග කිසිසේත්ම මෛතී‍්‍රපාල සිරිසේන - රනිල් වික‍්‍රමසිංහ යුගයට නොගැලපෙන බව අප පුන පුනා කිව යුතු  නොවන බවත් ඔහු කියයි.