‘එල්ලුම්ගහ ඕනෑ‘


ඇත්ත වශයෙන්ම බෞද්ධ රටකට එල්ලුම් ගස අනවශ්‍යයි. බෞද්ධයන් වශයෙන් අප කාටත් කරුණාව මෛත්‍රිය කළ යුතුයි. බුදු පියාණන්ගේ ධර්මය අනුව කිසිවකුගේ පණ නැසීමට අපට නොහැක.

එනමුත් මාගේ දැනීමේ හැටියට අද සමාජයට එල්ලුම් ගස අවශ්‍යයි. එල්ලුම් ගස ක්‍රියාත්මක වුණා කියා අපරාධ නැතිවෙන්නේ නැත. නමුත් 80% ක් අපරාධ අඩුකර ගත හැකිය. එල්ලුම් ගස ක්‍රියාත්මක වුණා කියා අපරාධකරුවන් ඒ ගැන නොසිතා නීතියට අහුනොවී ඒ අපරාධය කළ හැකි යැයි සිතා ඒ අපරාධය කිරීමට උත්සාහ කරන්නේය. ඒ නිසා එල්ලුම් ගස පිළිබඳව හොඳ ප්‍රචාරයක් අවුරුද්දක් පුරා කළ යුතුය.

වෙළඳ දැන්වීම් කරන අයුරින් පැය 24ම අපරාධයක් කිරීමට සිතා සිටින අපරාධකරුවන් කරන්න හදන අපරාධය මේ ප්‍රචාර නිසා සමහර විට නවතා දමන්න පුළුවන්. එසේත් නැතිනම් එකවරම ඒ අපරාධය නොකර කල් දැමීමට පුළුවන. පසුව ඒ අදහස එසේම අමතක වීමට පුළුවන. අහුවුනොත් මා එල්ලයි යන බියක් ඇති වනවා ඇත්ත එයයි.

එල්ලුම් ගස් ගියත් කමක් නැහැ මම උඹව මරනවා කියන අය ඉන්නවා. නමුත් මරන්න යන්නේ නැහැ. සිතේ තිබෙන වේදනාව තරහ නිසා එවැනි වචන නිකම්ම මුවින් පිටවෙනවා. ඊට පස්සේ එල්ලුම් ගස ගැන කල්පනා කරනවා. එල්ලුම් ගස් ගියත් කමක් නැහැ කියා ඒ අපරාධය කළහොත් අනිවාර්යයෙන්ම එල්ලා මරා දැමිය යුතුයි. හේතුව එවන් අපරාධකරුවන් අල්ලා හිරකර  ඒ අයට කන්න දීගෙන රජයේත් මහජනයාගේත් මුදල් නාස්ති කළ යුතු නැත. යම් කිසි සමාව දීමක් යටතේ නැවතත් එළියට පැමිණ ඒ අපරාධයට වඩා දරුණු අපරාධවක් කිරීමට උත්සාහ කරන්නේය.

පොඩි දරුවන් දූෂණය කරනවා මරනවා යැයි දිනපතා පත්තරවල ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් කියනවා. එය සැවොම බලනවා අහනවා. අපරාධකරුවන් එය බල බලා ගිහින් ඒ අපරාධයම කරනවා. එය අපරාධයක් කියා දැන දැනම කළහොත් ඒ අපරාධකරුවාව මරා දැමිය යුතුය. ඒ අපරාධකාරයා සමාජයට පිළිකාවක් පිළිලයක්.

මරණ දඩුවම ක්‍රියාත්මක වන බව දැන දැනත් අපරාධ කරනවා. ආදි කාලයේ සිටම එල්ලුම්ගස මරණ දඬුවම අනවශ්‍යයි කියන අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අය වැරදියි කියා මා කියන්නේ නැත. නමුත් යම් දිනයක ඒ අයටත් යම් කිසි අපරාධයක් වුවහොත් ඒ අය කියන්නේ මූව එල්ලලා මරලා වැඩක් නැහැ ගල්වලින් ගහල මරන්න ඕන කියලා. එතකොට ඒ අය පරක්කු වැඩියි. ඒ නිසා එල්ලුම් ගස ක්‍රියාත්මක කළහොත් 80% ක් අපරාධ අඩුකර ගත හැකි බව මාගේ හැඟීමයි.

රටේ සෑම තැනකම අපරාධ වැඩිවුවහොත් ඒ කියන්නේ පිසාචයන් යක්ෂයන් සහ සාතන්ලාගේ වැඩ වැඩිවුණොත් ධර්මිෂ්ඨ ජනතාවට ජීවත්වීමට අමාරු වෙනවා. ඒ අයගේ වැඩ වැඩිවුනොත් එය බලපාන්නේ රජයට පොලිසියට හා ජනාධීපතිටයි. එය දැනටමත් වෙමින් පවතිනවා. හරියට රට පාලනය කරන්න දන්නේ නැහැ කියා උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. ජනතාව නීතිය අතට ගන්න උත්සාහ කරනවා.

මම මෙතැන අපරාධ කියා හැඳින්වූයේ මිනීමරුවන්ටයි. ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය රටට ගෙනත් අනාගත පරපුර නැති කරන අවජාතක අපරාධකරුවන්ටයි. මෙම අපරාධකරුවන්ට උදව් කරන සෑම දෙනාටම දැඩි දඬුවම් දිය යුතුයි. පුරවැසිභාවය නැති කර මහපාරේ සිඟාකෑමට යැවිය යුතුය. අපරාධකරුවන්ගෙන් යැපෙන හිඟන බන්ධනාගාර නිලධාරීන් සොයා ඔවුන්ට වෙනම බන්ධනාගාරයක් සාදවා දැඩි දඬුවම් දිය යුතුය. අපරාධකරුවන්ගෙන් ලබාගත් දේපළ සියල්ල රාජසන්තක කළ යුතුය. මේ කුඩු පාවිච්චි කිරීමෙන් ඔවුන්ගේ මොළය කුඩුවෙනවා. ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔවුන් දන්නේ නැහැ. අහිංසක දැරියක දූෂණය කරන්නෙත් මංකොල්ල කන්නෙත් විවිධ අපරාධකරුවන් ඔය කුඩු පාවිච්චි කරන අහිංසක තරුණයෝය. අවුරුදු 2 -4 දැරියකගේ මොනවා තියෙනවා කියලා හිතාගෙනද මේ වගේ අපරාධ කරන්නේ. ලංකාවේ තරම් පොඩි දැරියන් දූෂණය කරන වෙන රටක් ලෝකේ තියේද කියා මට හිතෙනවා.

මෙතනදී පොලිසිය අවංක විය යුතුය. බොරු නඩු දමා මිනිසුන් හිරේට හෝ එල්ලුම් ගහට නොයැවිය යුතුය. එහෙම වුණොත් දෙවියන්ගෙන් ලැබෙන දඬුවම තද වැඩියි. එය බොරු නඩුවක්, පළිගැනීම සඳහා කළ බව ඔප්පු වුවහොත් ඒ පොලිස් නිලධාරියාට දැඩි දඬුවමක් හෝ මරණ දඬුවමක් දිය යුතුය.

මෙතැනදී ගංජා භාවිතාකරන්නන් ගැනත් මා යමක් කිව යුතුය. ගංජා අපේ රටේ ඕනෑම තැනක වැවිය හැකි පැලයකි. මෙය බෙහෙතටත් පාවිච්චි කළ හැකි බව අසා ඇත්තෙමි. තොග වශයෙන් ගංජා සමග අයකු අත් අඩංගුවට ගතහොත් ඔළුව උස්සන්න බැරිවෙන්න ලොකු දඩයකුත් හිරේටත් නියම කළ යුතුය.

ලංකාවේ නීති තද කළහොත් අපරාධ අඩුකරගත හැකිය. නීතිය පොතට පමණක් තද කර ඇති ඵලක් නැත. මාසෙන් දෙකෙන් තීන්දුවුනොත් හිරේට යවන්න ඕනෑ. මරණය තීන්දු වුනොත් සුමාන දෙකක් ඇතුළත එල්ලා මරා දමා ඒ පිළිබඳ ප්‍රචාරයක් දිය යුතුය. අවුරුද්දක් මෙය කර බලන්න. ඔක්කොම හරි යාවි.

මම මේ ලිපිය ලියන්නේ ඉතාමත් වේදනාවෙන් ගිය රජය කුඩුවලට වැට නොබැඳ උදව් දුන් බව පත්තර කියවීමෙන් මම දැන ගතිමි. දැන් සිටින තරුණයන් කියන්නේ ‘වරෙන් මචං කුඩුපාරක් දාලා ආතල් එකේ ඉම්මු කියා‘ ඒ තරමට ගිය රජය කුඩුවලට අනුබල දී ඇති බවයි මගේ වැටහීම. රටේ තරුණයන් කුරිරු අතට හැරී පිස්සන් වීමට ප්‍රථමයේ ගරු ජනාධිපතිතුමනි කුඩුකාරයන් සියල්ලම එල්ලා මරා දමන්න. සහෝදර සහෝදරියනි මේ සෑම දෙයක් ගැනම සිතා අපි එකට එකතුවී එල්ලුම් ගස ක්‍රියාවට ගෙන ඒමට කටයුතු කරමු.