‘එකවිට දෙපලක කුඩු අල්ලන්න බෑ‘ : සැකකරු නිදහස්


එකම අවස්ථාවක එකම තැනක හෙරොයින් වැටලීම් දෙකක් කිරීමේ හැකියාවක් නැති බවත් ඒ ආකාරයේ වැටලීම් දෙකක් කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන කතාව විශ්වාස කිරීමේ හැකියාවක් නැති බවත් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා කුඩු ග‍්‍රෑම් 41ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කළේය.

මරදාන වැනි ප‍්‍රදේශයක කාන්තාවක් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඉතාම සුළු වේලාවකින් එම ස්ථානයේදීම තවත් පිරිමියකුද කුඩු සමඟ අත්අඩංගුවට ගත්තා යැයි කීම සිදුවිය නොහැකි යැයි පෙන්වා දුන් නීතීඥ නිහාල් ගුණසිංහ මහතා විත්තිය වෙනුවෙන් සාක්කි නොකැඳවාම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තිකරු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

මරදානේ පදිංචි මොහොමඩ් නසීර් මොහොමඞ් රංජිත් 2008 මාර්තු 11 වැනි දා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී හෙරොයින් ග‍්‍රෑම් 41ක් ළඟ තබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.