‘ඌවේ සන්ධාන බළ කණු ඇද වැටුණා‘


සියයට 25ක පමණ තිබුණු එක්සත් ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිෂතය සියයට 45 පමණ දක්වා ඉහළ දැමීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බව එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා ‘එසැණ‘ සමඟ කීවේය.

‘මම ඡන්දෙට එද්දි ඉල්ලීමක් කළා පක්ෂායේ නායකයන් එකට එකතු වෙන්න කියා. ඒක සිද්ධ වුණා. මා කිව්වේ එජාප ඡන්ද ප්‍රතිශතය සියයට 40 දක්වා ඉහළ දමණ බව. එය සියයට 45 දක්වා ඉහළ දැමීමට මට හැකි වුණා.

මේ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ලොකු පිම්මක් ඉස්සරහට පැන්නා. ආණ්ඩුවේ දැවැන්තයන් ඉන්න ආසන පරද්දන්න අපට හැකි වුණා. සමහර ආසන අපි පැරදුණේ ඡන්ද දෙතුන් සියයකින්.

අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය සියයට 99ක් ලැබුණා. ජනතාව අපේක්ෂා කළේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැතිවරයෙක්. මට ඇති එකම කනගාටුව තමයි ජනතාව ඒ අපේක්ෂාව ඉටු නොවීම. නමුත් ජය හමුවේ සතුටු වෙනවා වගේම, පරාජය   ඉවසා දරා ගන්නත් මට හැකියාව තියෙනවා.

අපි අවංකාව දේශපාලනය කළා. ඒ නිසා තමයි හොඳ ප්‍රතිඵලයක් ලැබුණේ. දැන් ඡන්දෙ ඉවරයි. මා සියලු දෙනාගෙන් ඉල්ලනවා සාමකාමීව ඉන්න කියලා.

මා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යනවාද නැද්ද කියා දැන්ම තීරණයක් ගන්නේ නෑ. මේ පළාත් සභාවේ හොඳ මට්ටමකට අපි අවිත් තියෙනවා. පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ බලය ස්ථාවර මට්ටමක තියන්න තමයි මා උත්සාහ කරන්නේ. මා කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනා වෙනුමෙන් මා දේශපාලනය කරනවා. ඉදිරියේ එන ඕන මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවත් මට තියෙනවා.

ඒ වගේම තමයි මා ඡන්දයට එද්දි සමහරුන් කිව්වා මට මනාප 50,000ක්වත් ගන්න බැහැ කියලා. මං ඒ අයට කියනවා දැන් හොයලා බලන්න කියා මගේ මනාප ගණන. එජාපය පැරදුණේ නෑ. එජාපය ලොකු ජයග්‍රහණයක් ලැබුවේ. ජවිපෙ ඇතුළු විපක්ෂය හමුවේ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ඕන ඕන දේවල් කරන්න බැරිවේවි. අපේ ශක්තිය වැඩියි.‘

හරීන් ප්‍රනාන්දු මහතා මනාප ඡන්ද එක්ලක්ෂ පනස් දහසක් පමණ ලබාගෙන ඇතැයි මැතිවරණ ආරංචි මාර්ග කියයි.