‘උතුරුමැද සභාපති හිටපු පුරපති අල්ලනු’


උතුරුමැද පළාත් සභා සභාපති පි.එම්.ආර්. සිරිපාල හා අනුරාධපුර  හිටපු  පුරපති එච්.පී.සෝමදාස ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට  ගෙන ඉදිරිපත් කරන්නැයි  තඹුත්තේගම මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා  පොලිසියට අද (22)   නියෝග කළේය.

1999 ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවකු වු  රාජාංගණය යාය නවයේ හිටපු මහජන සෞඛ්‍ය පරික්ෂක ආනන්ද වේරගොඩගේ නිවසට  බෝම්බ ගසා ගිනි තබා  වාහන 5 කට  හානි කළැයි කියන සිද්ධියක්  සම්බන්ධ  පවරා තිබු නඩුවක් යළි විභාගයට  ගැනීමෙන් පසු  මහේස්ත්‍රාත් මෙම නියෝගය කළේය.

වේරගොඩගේ නිවසට  කළ ප්‍රහාරයෙන් සිදුවු අලාභය රුපියල් විසිලක්ෂය ඉක්ම වන බව පොලිසිය අධිකරණයට දැන්වීය.