‘ඉතිහාසයේ ලොකුම ආර්ථික කඩා වැටීමට අපේ රට ලක් වෙලා‘


අප්‍රේල් විරු සමරුව සඳහා රෝමයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රෝමයේ සිට ‘එසැණ‘ සමග දුරකතනයෙන් සම්බන්ධ විය.

ප්‍රශ්නය- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජික කුමාර් ගුණරත්නම් පසුගියදා ඉතාලි සංචාරයකට එක් වෙමින් සති කිහිපයකක් පුරා පක්ෂයේ ක්‍රියාකාරකම්වල නිරත වුණා. ඒ සමගම ඔබත් මෙහි පැමිණියා. එයින් පෙනෙන්නේ පක්ෂ දෙක අතර තරගකාරිත්වය නේද?

පිළිතුර- කොහෙත්ම නැහැ. ඔවුන්ගෙන් අපට අභියෝගයක් නැහැ. අපි අරමුණක් ඇතිව ඉදිරි ගමකන නිරත වෙනවා. මම ඉතාලියට පැමිණියේ අප්‍රේල් විරු සමරුවට එක්වීමට.

ප්‍රශ්නය - ද ඉකොනමිස්ට් ඉන්ටලිජන්ස් යුනිට් සඟරාවේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයකට අනුව ශ්‍රී ලංකාව පවතින්නේ 89 වැනි ස්ථානයේ. ආසියානු කලාපයේ බංගලිදේශය අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර - ඉතිහාසයේ ලොකුම ආර්ථික කඩා වැටීමට අපේ රට ලක් වෙලා. ඒ ආශ්‍රිතව ඇතිවෙන සමාජ නැගිටීම මර්දනය කරන්න පවතින රජය ගන්නා ක්‍රියා මාර්ගවල ප්‍රතිඵල තමයි මේ පෙනෙන්නේ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවෙ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස ඔබටත්, ඔබ පක්ෂයටත් සමස්ත විපක්ෂයටත් වගකීමක් තියෙනවා නේද ඒ නැතිවෙලා කියන ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කරන්න උරදීමට?

පිළිතුර - සත්තකින්ම ඔව්. අපි එවැනි අවස්ථාවල මහජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. උදාහරණයක් විදියට අධිකරණයට එරෙහිව එල්ලවුණ අභියෝගයේදි අපි නැගී සිටියා. රටේ ජනතාව අපහසුතාවට පත් වන ඕනෑම මොහොතක අපි පෙරමුණට එනවා.

ප්‍රශ්නය - ඔබ ආර්ථික කඩා වැටීමක් ගැන සදහන් කළත්   අපේ රටේ ආර්ථික දියුණුවක් ඇති වෙමින් පවතින බව බැලූ බැල්මට තියෙනවා. නවීන අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මාගම්පුර වරාය, මත්තල ගුවන්තොටුපොළ වැනි මේ හැම එකකින්ම පෙනෙන්නේ ආර්ථික දියුණුව නොවෙයිද? රටේ ජනතාව ඒ දියුණුව අපේක්ෂා කරන නිසා නේද හැම මැතිවරණයකින්ම රජය ඉහළින්ම දිනන්නේ?

පිළිතුර - මේ කොන්ක්‍රීට් වනාන්තර වනාන්තරවලින් රටේ ආර්ථිකයට ප්‍රථිලාබයක් අත්වෙලා තිබෙනවාද? ඔබ කියපු හැම එකකින්ම වාගේ, නෙළුම් පොකුණ රඟහල, සූරිය වැව ක්‍රීඩාංගනය, රටේ මුදල් කාබාසිනියා කරපු තැන් විදියටයි අපි දකින්නේ. මේ හැම එකක් නිසාම රට විශාල ණය බරකට මුහුණ දීලා තියෙන්නේ. රටේ ආර්ථිකයට කිසිම පිටුවහලක් මේවායින් ලැබෙන්නේ නැහැ. ඡන්ද ප්‍රතිශතය ගැන සදහන් කළොත් රටේ ජනතාවගෙන් සියයට අසූවකට මේ රජය එපා වෙලා. නමුත් මැතිවරණයක් ආසන්නයේ ලබා දෙන අල්ලස් හා නොයෙක් දොළපිදේනි නිසා ඡන්ද ප්‍රතිශතය ඉහළ යනවා.

ප්‍රශ්නය - මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ විද්වත් කමිටුවක් විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු යෝජනා රැසක් රජයට ඉදිරිපත් කළා. එහිදි ඔවුන් කියා සිටින්නේ රජය මෙම යෝජනා ක්‍රියාත්මක කරන්න අපොහොසත් වුවහොත් එන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කරන බවයි. ඔබ පක්ෂය ඒ සදහා සූදානම් ද?

පිළිතුර - මේ සමාජ දේශපාලන වාතාවරණය විධායකය නිසාම ඇතිවූ දෙයක් නොවේ. නමුත් අපි ඕනෑ මොහොතක හයපත් දෙයක් වෙනුවෙන් සාකච්ඡා කරන්න සූදානම්.