‘ඉතිං පොඩ්ඩක් ඉන්නකෝ‘


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් පිහිටුවීමේ වැඩපිළිවෙළක් තවම නැතැයිද ඒ අදහස ඉවත් කරන්නෙත් නැතැයිද යනුවෙන් හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය.

ඔහු මෙසේද කීවේය.

‘තාම නම් නැහැ. පොඩ්ඩක් බලමු. ඒක අපි අයින් කරන්නෙත් නැහැ. නමුත් ඉතිං පොඩ්ඩක් ඉන්නකෝ. මැතිවරණයක් නැති නිසා පොඩ්ඩක් ඉන්නකෝ‘

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් පිහිටුවීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 4 වැනිදා කොළඹදී පවත්වා ඇතැයි විශ්වාසදායී ආරංචි කියයි.

පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරු මෙන්ම හිටපු මහ ඇමැතිවරුද ඊට සහභාගී වී ඇත.

එම පක්ෂය පිහිටුවීමේ කටයුතු සිදු කිරීම හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති අතර නව පක්ෂයේ ලකුණ ලෙස ජලයේ පිපෙන මලක නමක් යෝජනා කර ඇතැයිද එම ආරංචි පවසයි.

තව මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලදී මෙම නව පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුමවී ඇතැයි ද කියති.