‘ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලා - මම දිනනවා හෙට ලෝකය දැනුම ලබා‘


කඩුවෙල කොතලාවල විද්‍යාලයේ අට වසරේ ඉගෙනුම ලබමින් සිටියදී දෑස් නොපනී අන්ධ විද්‍යාලයට ඇතුළත් වූ කඩුවෙල හර්ෂ නිලුපුල් නයනප්‍රිය බ්‍රේල් ක්‍රමයට අපොස සාමාන්‍ය පෙළට ලියා උසස් ලෙස මෙලෙස විභාගය සමත් විය.

ඉතිහාසය විෂයයට බී සාමාර්ථයක්ද, සිංහල, ආගම, කෘෂිකර්මය, පුරවැසි අධ්‍යාපනය යන විෂයයන්ට සී සාමාර්ථද ගණිතය, සංගීත විෂයයට එස් සාමාර්ථයක්ද ලබා ඔහු මෙම දස්කම් පෙන්වීය.

ඔහුගේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ක්‍රමයට ඉගෙන ගනිමින් සිට ස්නායු ආබාධයක් නිසා එක්වරම අන්ධවීමෙන් පසු වසර දෙකක් ඇතුළත බ්‍රේල් ක්‍රමයෙන් උගෙන මෙම ප්‍රතිඵලය පෙන්වීමයි.

තම පුතුගේ දස්කම් පිළිබඳව ලංකාදීපයට අදහස් දැක්වූ මවවන නිලූකා සුභාෂිණී මහත්මිය මෙසේ පැවසුවාය.

‘මගේ පුතාගේ ඇස් පොඩි කාලේ හොඳට පෙනුණා. පොඩි ආබාධයක් තිබුණත් කණ්ණාඩි දැමූ විට හරියාවි යැයි වෛද්‍යවරුන් පැවසුවා. වම් ඇහැ පේන්නේ නැහැ. පුතා අට වසරේදී අපට කිව්වා. අපි දරුවා ඇස් වාට්ටුවට රැගෙන ගියා. වම් ඇසේ සිවිය ගැලවී ඇති බව වෛද්‍යවරුන් පැවසුවා. මෙය ස්නායු ආබාධයක් නිසා සිවියත් බද්ධ කළ නොහැකි බවත් වෛද්‍යවරුන් කිව්වා. අනතුරුව දරුවා රත්මලාන අන්ධ විදුහලට ඇතුළු කළා. දරුවාගේ වම් ඇස දැන් සම්පූර්ණයෙන්ම අන්ධ වෙලා. දකුණු ඇසෙන් ඡායාවක් පමණක් පෙනෙනවා. එම තත්ත්වයන් ඉදිරියේදී අහිමි වේවි යැයි වෛද්‍යවරුන් කියනවා.‘

තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ හර්ෂ නිලුපුල් මෙසේ පැවසීය.

‘මම හරි ආසාවෙන් ඉගෙන ගන්නවා. ඇස් දෙක පේන්නේ නැති වුණත් එය ඉගෙනුමට බාධාවක් කරගත්තේ නැහැ. මම ක්‍රීඩා අංශයෙනුත් ඉදිරියට ගිහින් තියෙනවා.  චෙස් ක්‍රීඩාවෙනුත් මම ශූරතාවය දිනා ගත්තා. මගේ ඇස් පෙන්නේ නැති වුණාට මට අතරමග නවතින්න බැහැ. හොඳට ඉගෙන ගන්න ඕනෑ. මගේ ඉගෙනීම හොඳින් කරගන්න ලැප්ටොප් පරිගණකයක් සහ බ්‍රේල් ටයිප් රයිටරයක් ලැබුණොත් ලොකු පිනක්‘

රත්මලාන අන්ධ විද්‍යාලයේ විදුහල්පතිනී සන්ධ්‍යා කොන්දුරුආරච්චි මහත්මිය මෙසේ කීවාය.

‘මෙම දරුවා අපේ විද්‍යාලයට ඇතුළත් කරනවිට අපිටත් ලොකු අභියෝගයක් වුණා. සාමාන්‍ය ක්‍රමයට උගත් ඔහු බ්‍රේල් ක්‍රමයට වසර දෙකක් ඇතුළත හුරු කිරීම එම අභියෝගයයි. ඒ සඳහා දරුවාගේ කැපවීම මෙන්ම ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසුන්ගේ සහයෝගය බලපෑවා. සමහර දිනවලට මමත් දරුවන් සමග රෑ 12 පමණ වනතුරු පාඩම් කරනවා. දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය මම කළා. මේ දරුවා ලැබූ ප්‍රතිඵලය ගැන මට හරිම සතුටුයි‘

වැඩි විස්තර සඳහා   ඔහුගේ මව වන සුභාෂිණි පෙරේරා 0766074276 මහත්මියගෙන් හෝ 011 263 42 26/ 077 343 48 86 අංක මගින් රත්මලාන අන්ධ විදුහලේ විදුහල්පතිනි සන්ධ්‍යා කොද්දුරුආරච්චි මහත්මිය දැනගත හැකියි.

DSC01479 DSC01484 principal