‘ඇමැතිවරු හිතන් ඉන්නේ රාජ්‍ය නිලධාරීන් රූකඩ කියලා‘


‘අපේ රටේ ඇමතිවරුන්ගේ ඔළුවල රාජ්‍ය නිලධාරින් ගැන හැදුණු ආකෘතියක් තිබෙනවා. ඔවුන් දකින්නේ නිලධාරින් හරියට ඉස්කෝලෙක ළමයි ගුරුවරයා නැගිටින්න කියනකොට නැගිටින, වාඩිවෙන්න කියනකොට වාඩිවෙන, අත උස්සන්න කියනකොට අත උස්සන විදිහේ පිරිසක් කියලයි. සමහරු නිලධාරින්ට කතා කරන්නේ බූරුවා කියලා. මම ඒක වෙනස් කළ නිලධාරියෙක්‘ යැයි  හිටපු අමාත්‍යංශ ලේකම්, සීමා නිර්ණ කමිටුවේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා අද (22) මහරගමදී පැවසීය.
ගමට දිරියක්- රටට බලයක් තේමාව යටතේ කැඳවූ ජනතා විමුක්ති පෙරමුණේ දිරිය පුරවැසි සංවිධාන ජාතික නියෝජිත සමුළුවට සුභ පැතුම් එක්කරමින් අශෝක පීරිස් මහතා  එසේ පැවසීය. 
‘සීමා නිර්ණ කමිටුවේ මම වැඩකරන කාලේ අපේ විෂය භාර ඇමතිතුමා එක වෙලාවක මට කතා කරන්න නොදී කතා කරද්දී මම කිව්වා ඇමැතිතුමා ඉන්න මට කතා කරන්න දෙන්න කියලා. ඇමතිතුමා හෝන්දු මාන්දු වෙලා ගියා. මේ මොකද වුණේ කියලා“
‘එයාට  ඕන හැටියට අපි වැඩකරනන ගියේ නෑ. වතාවක් මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැඩ කරද්දී විෂය භාර ඇමති හිටියේ රිචඞ් පතිරණ මහතා නිලධාරින්ට කතා කරන්නේ බූරුවා කියලා. එහා කාමරේ ඉන්න බූරුවාට එන්න කියනවා කියලා කියනකොට ඔන්න ටයි දාගත්ත නිලධාරියෙක් එනවා. අර වැඳිරිට එන්න කිව්වාම සාරියක් ඇඳ ගත්ත නෝනා කෙනෙක් එනවා. දවසක් මම කිව්වා ඇත්තටම සර් මේකේ ඉන්න අය නම් සේරම බූරුවෝ තමයි ඒ නිසානේ සර් බූරුවා කියපු ගමන් එන්නේ කියලා. සාම්ප‍්‍රදායික නිලධාරින් ස්වභාවයෙන් පිට පනිමින් අපි වැඩකරන හැටි දැක්කාම අපිත් එක්ක වැඩ කරන නිලධාරිනුත් ප‍්‍රබෝධමත් වුණා‘ යැයි ද ඔහු කීවේය..