‘ආණ්ඩුව ජාතික සමගිය නැති කරන්න හදනවා‘


‘ආණ්ඩුව හදන්නේ දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කරලා ජාතිකවාදය වෙනුවෙන් කැපවෙන පිරිස්වලට ‘මුඛවාඩම් බඳින්න‘ යැයි  අද(15) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

‘දණ්ඩ නීති සංග‍්‍රහය සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පතක් සහ ඊට අනුරූපීව අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරිමේ පනත් කෙටුම්පතක් ඒ අනුව ඉදිරිපත්ව තිබෙනවා. මෙහි 15 වන පරිච්ඡේදයේ 290 වගන්තියේ සිට 291 ආ වගන්තිය දක්වා ආගමික, වාර්ගික හා ජාතික අසමගියට එරෙහිව ගත හැකි ප‍්‍රතිපාදන ඇතුළත් වෙනවා. යම් ආගමකට එරෙහිව සිදු කරන ක‍්‍රියාත්මකවීම. යම් ආගමික ස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදීම, ආගමික ස්ථානයක අශෝභන ලෙස හැසිරීම, ආගමික ස්ථානයක් අශූද්ධ කිරීමට කටයුතු කිරීම ආදී  ඕනෑම කරුණකට එරෙහිව කටයුතු කිරීමට ඉහත වගන්තිවලින් ප‍්‍රතිපාදන සලසා තිබෙනවා. එසේ තිබියදී තමයි මේ නව සංශෝධනය රැගෙනවිත් තියෙන්නේ.‘ යැයි සමරවීර මහතා කීවේය.

‘දණ්ඩ නීති සංග‍්‍රහයේ 291ඇ. වගන්තිය ලෙස බලාත්මක කිරීමයි මේ සංශෝධනයෙන් සිදු වන්නේ. භාෂිත, ලිඛිත හෝ කියවීමට අදහස් කරනු ලැබූ වචනයෙන්, හෝ සංඥාවලින්, හෝ දැකිය හැකි නිරූපණවලින්, හෝ අන්‍යාකාරයෙන්, ජන කොටස් අතර හෝ වෙනස් පන්තිවල තැනැත්තන් අතර හෝ වෙනස් වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර, දරුණු කි‍්‍රයා හෝ ආගමික, වාර්ගික හෝ ජාතික අසමගිය හෝ, අසන්තෝෂය හෝ, සතුරු බව ඇති කරන හෝ තැත් කරන, නැතහොත් ඊට පොළඹවන හෝ තැත් කරන යමකුට, අවුරුදු දෙකක් දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කරනු ලැබිය යුතුය’ මෙසේ සංශෝධනය කළහොත් ලාංකීය සමාජය තුළ මෙතෙක් සිදු නොවූ ආකාරයේ ආගමික හා වාර්ගික ගැටුම් ඇති වෙලා විශාල ජාතික සහ ආගමික අසමගියක් නිර්මාණය වෙනවා. මේ වගන්තිය සම්මත වුණොත් එක් ජන කොටසක හෝ ආගමික කොටසක අසන්තෝෂයට හේතු වේ යැයි සැකයෙන් ‘මේ සිංහල අපගේ රටයි’ ගීතය ගයන්න වෙන්නේ නැහැ. එස් මහින්ද හිමියන්ගේ නිදහසේ දැහැන, නිදහසේ මන්තරය ආදී කවි පංති දරුවන්ට උගන්වන්නට සිදු වෙන්නේ නැහැ, නත්තල් කැරොල් ගීත ගායනා කරන්න වෙන්නේ නැහැ, ඇතැම් දෙමළ ගීත ගයනා කරන්න වෙන්නේ නැහැ, ඉස්ලාම් බැතිමතුන්ට යාඥා කරන්න වෙන්නේ නැහැ. පටු ජාතිවාදී, ආගම්වාදී ඇසකින් බලන පිරිස්වලට මේ වගන්තිය පාවිච්චි කරලා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් ‘ඉහත ක‍්‍රියාවලින් අපට අසන්තෝෂයක් ඇති වෙනවා’ කියලා. 

wevb_jnp_20151215