‘අරියාදු නොකළා නම් ආණ්ඩුවට සහාය දෙන්නත් තිබුණා‘


ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත්, ඇමෙරිකාවේ සීඅයිඒ හා බ්‍රිතාන්‍යයේ එම්අයි හය ඔත්තු සේවා තමා පසුගිය ජනපතිවරණයේ දී පරාජය කිරීමට කුමන්ත්‍රණය කර ඇතැයි ද, එහෙත් නරේන්ද්‍ර මෝදි අගමැති හෝ ඔහුගේ රජයට ඊට සම්බන්ධයැයි තමා නොසිතන්නේයැයි ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හින්දු පත්‍රය සමඟ සාකච්ඡාවකදී පැවසීය.

‘ශ්‍රී ලංකාවේ රෝ නියෝජිතයා ඉවත් කළ යුතු යැයි මා එදා කිව්වා. ඔවුන් එකඟ වුණා. නමුත් ඉවත් කළේ අන්තිම මොහොතේ. එතකොට ප්‍රමාධ වැඩියි.‘

රාජපක්ෂට එරෙහිව විපක්ෂ කණ්ඩායම් එකමුතු කිරීමට යතියි කියන චෝදනාවක් මත පසුගිය ජනවාරියේ දී කොළඹ ඉන්දියා තානාපති කාර්යාලයයේ නිලධරයකු මාරු කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළැයි හින්දු පත්‍රය කියයි.

එහෙත් ඉන්දියා විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ එය සාමාන්‍ය මාරුවක් පමණක් බවයි.

යළි දේශපාලනයට එන බවත් හින්දු පත්‍රය සමඟ තහවුරු නොකළ රාජපක්ෂ කියා සිටියේ සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ තම පවුලේ සහෝදරයන්ට හා සගයනට එරෙහිව නඩු පවරන බවයි.

‘ඔවුන් මෙහෙම නොකළා නම් මම ඔවුන්ට සහාය දෙන්නට තිබුණා. නමුත් දැන් ඔවුන්ට ඕනෑ අපට විරුද්ධව පරීක්ෂණ පවත්වන්නැයි. අප හිරේ දාන්නයි. සාක්කි නැතිව අපගේ ගමන් බලපත්‍ර තහනම් කරන්නයි. තත්ත්වේ එහෙම නම් මම කොහොමද විශ්‍රාම යන්නේ? විශ්‍රාම ගන්නා බවක් මම කවදාවත් කිව්වේ නෑ. දැන් මම විවේක ගන්නවා.‘