‘අරලිය මැදුරේ ඡන්ද මෙහෙයුමත් බිඳ වැටිලා‘


‘මා ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් නොයෙකුත් බලවේග සමඟ එකතු වුණාට පස්සේ පසුගිය දින කිහිපයේ අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා. අරලිය ගහ මන්ධිරයේ මැතිවරණ භාරව සිටි නිලධාරීන් එක්කෙනා දෙන්නා ඉවත් වෙනවා. අද අරලිය ගහ මන්ධිරය දුක් අඳෝනාවලින් පිරුණු තැනක් බවට පත් වෙලා. ‘ යැයි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ හයිඩ් පාර්ක් පිටියේ දී පැවසීය.

‘උගුලෙන් ගැලවෙමු. ඒකාධිපතිත්වය, පවුල්වාදය, ජගමිතුරු ආර්ථිකය, දුෂණය, අවනීතිය, මිලිටරිකරණය සහ පාදකඩකරණයෙන් රට මුදා ගනිමු.‘ මැයෙන් පුරවැසි බලය සංවිධායන මෙම රැලිය සංවිධානය කර තිබිණි.

වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් රැසක් ඊට සහභාගී වූහ.

මාදුළුවාවේ සෝභිත හිමි -

‘ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු, දළදා මාලිගාවට බෝම්බ ගහමු, හාමුදුරුවරු මරා දැමූ පිරිස් අද ආණ්ඩුව ඇතුළේ ඉන්නවා. යුද්ධය ඉවර කළ හමුදාපති හිරේ දැම්මා. මිනීමරුවන් නිදහස් වෙනවා, වීරයන් හිරේ යනවා.

අධිවේගී පාරවල් එකකටත් ටෙන්ඩර් කැඳෙව්වේ නෑ. මේවාට ගිය වියදම් ගණන් හදලා බැලුවොත් පාරේ රත්තරන් අතුරන් පුළුවන්.

අද මේ රැස්වීම තියන්නේ විධායක ජනාධිපතිවරණයට එරෙහිව පළමු වෙඩි මුරය තබපු තැනයි. එදත් මෙතනට මේ විදියටම විශාල පිරිසක් රැස් වුණා. විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ලොකු හඩන් නැගුවා. වාසුදේව නානායක්කාර අත්අඩංගුවට ගත්තා. වික්‍රමභාහු කරුණාරත්නගේ රැකියාව නැති කළා.

එදා මහින්ද රාජපක්ෂ මහත්මයා කොළඹ සිට කතරගමට පයින් ගියේ මේ විධාය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලයි. ‘

නීතීඥ ජේසී වැලිඅමුණ -

‘2012 අද වගේ දවසක තමයි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට   ගෙනාවේ. ඒ සමඟම නීතීඥ ප්‍රජාව එළියට බැස්සා. නීතියේ සාධාරණත්වය අගවිනිසුරුවරියටත් ඉල්ලුවා. මෙවර ඡන්දයට නාම යෝජනා දෙන්න තියෙන්නේ දෙසැම්බර අට වැනි දා. 2012 දෙසැම්බර 08 වැනි දා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයෙන් ඇය වැරදි කාරිය කළේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ජනවාරි අට වැනි දා. 2013 ජනවාරි අට වැනි දා අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් දවසක්. මේ හැම දවසක්ම ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙන්න මොනයම් හෝ දෙයක් වුණු දවසක්. ජනාධිපතිගේ කේන්දරේ අනුව නැකත් හදලා තියෙන්නේ මේවා නැවත මතක් වෙන්න.

සමහරුන් කියනවා දින 100න් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බැහැ කියා. මෙය කරනවා නම් දිස 100ක් හොදටම ඇති. ‘

ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර -

‘මම සඳුදා විශ්ව විද්‍යාලයයේ පුස්තකාලයට යනකොට එය වහලා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වසා තබන බව සඳහන් වුණා. මොකක් ද මේ නොවැලැක්විය හැකි හේතුව? ජනාධිපතිතුමා අරලියගහ මන්ධිරයට විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය කැඳවලා. හදිසියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්. ජනාධිපතිවරණයක් ළං වෙනකොට තමයි ප්‍රගති සමාලෝචනය මතක් වෙන්නේ. 2012 අපි පාරේ ඇවිදිනකොට එතුමාට ප්‍රගති සමාලෝචනය මතක් වුණේ නෑ.

දැන් අපි එකතුවෙලා ජනාධිපතිතුමාගේ ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉන්නේ. එහි ප්‍රථිපලය ජනවාරි අට වැනි දාට ලබා දෙනවා. දැන් ජනාධිපතිතුමා මහන්සි වුණා හොඳටම ඇති. ලබන ජනවාරි අට වැනි දා ඔහු විශ්‍රාම ගැන්විය යුතුයි.

දැන් නැවත වරක් යුද්ධය විකුණන්න පටන් අරගෙන. එතුමාට මතක නැහැ එතුමාම 2009 යුද්ධය සහ මුලින්ම ඉවර කළා කියලා.  යුද්ධය අවසන් කළ හමුදාව අද කාණු සුද්ධ කරන්න දාලා. ඇමැතිවරුත් අපිත් එක්ක බස් වල ගිය රටක් මේක. ‘

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා -

‘පසුගිය වකවාණුව මාධ්‍යවේදීන්ට බිහිසුණු වුණා. මාධ්‍ය වේදීන් රැසක් මරා දැමුණා. ජනාධිපති වරණය පැවැත්වෙන ජනවාරි අට වැනි දා තමයි ලසන්ත වික්‍රමතුංග මහ මග මරා දැමුවේ. ඔහුගේ මිනීමරුවන් කවුරුන්දැයි කියා අපට දැන ගන්න අවශ්‍යයි. සිරස ගිනි තිබ්බේ කවුදැයි කියා දැන ගන්න අවශ්‍යයි. ‘

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන, නීතීඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය චන්ද්‍රගුප්ත තේණුවර, මාධ්‍යවේදී සුනිල් ජයසේකර, ගාමිණී වියන්ගොඩ සහ මනෝ ගනේෂන් මහත්වරු ඇතුළු දේශකයෝ රැසක් අදහස් දැක්වූහ.

RDS_1622 RDS_1677 RDS_1714 RDS_1743 RDS_1770 RDS_1791

RDS_1728