සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක්කර පොදු අරමුදලක් සැකසීම ගැන අද (16) අරලියගහ මන්දිරයේ පැවැති වෘත්තිය සමිති රැස්විමට කැඳවා ඇත්තේ ආණ්ඩුවට හිතවත් වෘත්තිය සමිති පමණක් බව වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය කියයි.
වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති 25 කට ආසන්න ගණනකට ඒ සඳහා කිසිදු කැඳවීමක් ලැබි නැතැයි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ විරෝධය පළ කරන බවත් තමන්ට හිතවත් වෘත්තිය සමිති එක්කර වැඩ කරන ජනතාවට හිමි අරමුදල් කොල්ලකන්නට කිසිසේත් ඉඩ නොදෙන බවත් කී ඔහු එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනිමට තම බල මණ්ලයට අයත් වෘත්තිය සමිති කටයුතු කරන බවද ඔහු කීවේය.
සේවක අර්ථසාධක අරමුදලට අත තැබීම හරියට භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව මගින් මේ ආණ්ඩුව පසුගිය කාලයේ සිදු කළ මහා වංචාව වගේම මහ දවල් මංකොල්ලයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
‘අපි වෘත්තීය සමිති විදියට මේ මංකොල්ලයට ඉඩ දෙන්නේ නෑ. අපි ඒකාබද්ධ විපක්ෂයක් ලෙස මෙයට විරුද්ධව නැගී සිටිනවා.‘ යැයි ද ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.



