‘අභූත චෝදනා ගොන්නක් ගෙනැල්ලා‘


ගිය රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි 10,000ක් වෙන්කළ බවටත් නව රජයෙන් එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි මුදල ජනතාවට සහන ලබාදීමට නිදහස් කළ බවටත් රූපවාහිනි වැඩසටහනක දී පැවසුණු නමුත් තමාගේ රජයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට රුපියල් කෝටි 10,000ක් වෙන් නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

තමාගේ රජයෙන් 2015 වසර සඳහා ජනාධිපති කාර්යාලයට වෙන්කළ මුදල රුපියල් කෝටි 959ක් බව ද රාජපක්‍ෂ මහතා පවසයි.

මහජන මුදලින් ඇමෙරිකා ඩොලර් මිලියන 16 (රුපියල් 212364103.56) ක් වැයකොට තමාගේ භාවිතය සඳහා විශේෂ ගුවන් යානයක් ඇනවුම් කර තිබූ බවට ද ආණ්ඩුවේ ඇතැමුන් මෑතක දී ප‍්‍රචාරය කර තිබූ නමුත් තමා භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇනවුම් නොකළ බව හිටපු ජනපතිවරයා සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර්බස් සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට විශේෂ මගීන්ගේ පාවිච්චිය සඳහා ගුවන් යානයේ විශේෂ කුටියක් ලෙස සවිකළ හැකි උපායන කට්ටලයක්, තිළිණයක් වශයෙන් ඇතුළත් කර තිබූ බව ද එහි වටිනාකම ඩොලර් මිලියන 15ක් (රුපියල් 199091347.09) වශයෙන් සඳහන් වූයේ එම කට්ටලය සඳහා නිෂ්පාදක සංකේතාත්මක වටිනාකම බවද හිටපු ජනාධිපතිවරයා කියයි.

හිටපු ජනාධිපති නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

‘‘වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුලු ප‍්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.

මාගේ රජය විසින් 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000ක මුදලක් වෙන් කර තිබුණු බවත් නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ල ජනතාවට සහන ලබාදීම සඳහා නිදහස් කළ බවටත් එක්තරා රූපවාහිනි වැඩසටහක දී කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා රුපියල් කෝටි 10,000ක මුදලක් කිසිදාක වෙන් නොකළ බව මම වගකීමෙන් කියමි. 2015 වසර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන් කළ මුළු මුදල රුපියල් කෝටි 959කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතු පිළිබඳ කමිටුව ඇතුළු රජයේ ආයතන 25ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක‍්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලූ ආයතනවලට සේවා සපයයි. එම මුදල්වලින් වැඩි කොටස වැය වන්නේ ඒ සඳහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සඳහා නොවේ.

ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සඳහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක් පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් රුපියල් කෝටි 100ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනතාවගේ සුබසෙත සඳහා ඉදි කෙරෙන විවිධ සුළු ව්‍යාපෘති සඳහාය. මෙම රුපියල් කෝටි 100 ඉවත් කළ විට ජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම රුපියල් කෝටි 275 දක්වා අඩු වේ. වත්මන් ජනාධිපති කටයුතු සඳහා වෙන් කර ඇති මුදල ලෙස සඳහන් වන්නේ එකී මුදල විය යුතුය.

මෑතක දී ආණ්ඩුවේ ඇතැම් අය කී තවත් කතාවක් වූයේ මම මාගේ භාවිතය සඳහා ජනතාවගේ මුදල්වලින් ඇමරිකා ඩොලර් මිලියන 16ක් (රුපියල් 212364103.56) වැය කොට විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට තිබුණු බවය. එය භාර ගැනීම නව ආණ්ඩුවෙන් ප‍්‍රතික්ෂේප කර ඒ වෙනුවට ගුවන් යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවයි. මාගේ භාවිතය සඳහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට නොතිබූ බව මම ප‍්‍රකාශ කර සිටිමි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ‘එයාර් බස්‘ සමාගමෙන් නව ගුවන් යානා මිලදී ගන්නා විට එකී සමාගම අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානාවල සාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සඳහා විවිධ පහසුකම් සහිත විශේෂ කුටියක් ලෙස සැකසිය හැකි උපාංග කට්ටලයක් ගැනුම්කරුට තිළිණයක් වශයෙන් ඇතුළත් කොට තිබිණි. ඩොලර් මිලියන 15ක් (රුපියල් 199091347.09) ලෙස ගුවන් සමාගම එහි වටිනාකම සංකේතාත්මක ලෙස සඳහන් කර තිබිණි. එය නොමිලේ දෙන තෑග්ගකි.

රටේ විවිධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සඳහන් කරමින් ඒ සියල්ල මාගේ සුඛ විහරණය සඳහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවා දැක්වීමට ද උත්සාහයක් ඇති බව පෙනේ. අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපති මන්දිරය එමෙන්ම නුවරඑළියේත්, මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරය ද යටත් විජිත සමයේ සිටම මේ රටේ ආණ්ඩු ප‍්‍රධානීහු භාවිතා කළහ. අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථානවල පිහිටි නිල නිවාස හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස සමයේ ඉදිකැරිණි. මේ එක නිල නිවසක්වත් මාගේ පාලන කාලයේ ඉදිකළ ඒවා නොවන බව කිව යුතුය. අරලියගහ මන්දිරය, කොටුවේ ජනාධිපති මන්දිරය ඇතුළු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප‍්‍රදර්ශනයට විවෘත කරන බවට පුවතක් මම දුටුවෙමි. මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේ දී ද ඉතා ඈත පිටිසර පළාත්වලින් පාසල් ළමයින් හා වැඩිහිටියන් ද අරලියගහ මන්දිරය නැරඹීමට දහස් ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය. එසේ පැමිණි අය සමග කතා බස් කිරීමට ලැබීම ද මට මහත් සතුටක් වූවා සේම රටේ විවිධ පළාත්වල සංවර්ධන අවශ්‍යතාවයන් ද ඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි. අරලියගහ මන්දිරයේ මාගේ පොහොය දින වැඩසටහන්වලට ද ජනතාව දහස් ගණනින් සහභාගි වූහ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පළ විය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22ක් බොරැල්ලෙන් ”සොයාගත්” බවටත් තවත් වාහන 53ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පළ විය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයෝය. ඒවා හමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ තිබූ වාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක‍්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කළ නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය, මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ සියලූ වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලට දී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතන හා පරිපාලන අංශයේ වාහන ලේඛනයේ සඳහන්ව තිබෙනු ඇත.