දරුවන් විභාගවලින් විශිෂ්ට ලෙස සමත් වුවත් විනය අතින් පිරීහීමක් තිබෙන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (27) රත්නපුරයේ දී පැවසීය.
රත්නපුර ෆර්ගසන් උසස් බාලිකාවේ සියවස් සැමරුමට එක්වෙමින් ජනපතිවරයා කීවේ එක් අයෙක් විශිෂ්ටයෙක් විදියට ජයග‍්‍රහණය කරන්නත් තවත් දරුවෙක් බරපතල අපරාධකරුවෙක් බවට පත්වෙන්නත් හේතුවූ සමාජ විෂමතාවය අප විසින් පැහැදිලිව හඳුනාගත යුතු වන බවයි.
‘මේ ඉරිදා එක් ජාතික පුවත්පතක කතු වැකිය මගේ මතකයට එනවා. එහි සඳහන් වුණේ මේ රටේ පාසල් වල දරුවන්ගේ විනය පිළිබඳවයි. මම එය දෙවැනි වරටත් කියෙව්වා. මේ රටේ පාසල් දරුවන් විභාග වලින් සමත්වීම විශිෂ්ටයි. නමුත් සමාජය තුළින් එන තොරතුරු ආශ්‍රිත කරුණු සැලකිල්ලට ගත්විට පාසල් දරුවන්ගේ විනය පිරිහීම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙනවා.‘ යයි කී ජනපතිවරයා මෙසේ කීවේය.
‘මිහින්තලයේ පාසලක 11 වසරේ සිසුන් එහි ශිෂ්‍යයකුගේ උපන් දිනය සැමරුවේ පාසල් වේලාවේම විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ අරක්කු බෝතලයක් කඩා බීගෙනයි. මීට දින කිහියකට පෙර මාධ්‍ය තුළින් ඔබ දැක්කා බොරැල්ලේ බාලිකා විද්‍යාලයකට කොළඹ පිරිමි පාසලක සිසුන් බලහත්කාරයෙන් ඇතුළු වී සිදු කළ කලබලයක් පිළිබඳව. අද අධි තාක්ෂණික ලෝකයේ විවිධ ක්ෂේත‍්‍ර වල විශිෂ්ටයින් බිහිවන්නා සේම අපේ රටේ පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවල් වල පාසැල් වල ඉගෙන ගන්නා දරුවන් තමයි බරපතල අපරාධකරුවන් බවට පත්වෙන්නේ.
ක‍්‍රීඩාව තමයි විනය ගොඩනගන ප‍්‍රධාන ස්ථානය වන්නේ. පාසැලේදී ලබාගන්නා දැනුම තුළින් විභාග ප‍්‍රතිඵල ලබාගන්නා හා සමානව ජීවිතය සමත්වීමේ අභියෝගය අප විසින් බාරගත යුතු වෙනවා. මුදල් වහල් වූ ලෝකයක, සල්ලි පිළිබඳ විශ්වාසය තබන ලෝකයක, මිනිසුන්ට වඩා සල්ලි පිළිබඳ කතාකරන මිනිසුන් සිටින ලෝකයක අභියෝග අප තේරුම් ගත යුතුයි‘ යයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

