‘අන්සතු කෝටියක් ගත්තත් වගතුවක් නෑ‘


‘අපට හිමි නැති කෝටියක් ලැබුණත් අපට වැඩකුත් නෑ. අයිතිකරුගේ සුසුම අපට සාපයක් වේවි. රුපියල් ලක්ෂ දාහතරහමාරක මුදල හිමිකරුටම දෙන්නට හැකි වීම කියන්න බැරි තරම් සතුටක්  හැමකෙනාම අපට කියන්නේ එච්චර මුදලක් නැවත දුන්නේ අපරාදේ කියලා නමුත් මටවත් මං එක්ක වැඩ කරන මල්ලිටවත් එහෙම හිතෙන්නේ නෑ. අනුනගේ කියන කිසිම දෙයක් අයිති කරගන්න අපට වුවමනාවක් නෑ. මනුස්සකමේ නාමෙන් අපි කළ දේ ගැන අපට සතුටුයි  විශේෂ ඇගයීමක් වුවමනා නෑ‘ 

එසේ පැවසුවේ කටුබැද්ද ඩිපෝවේ මාර්ග අංක 225/17 පානදුර මහනුවර ලංගම බස්රථයේ සේවයේ රියදුරු ඩී. ඒ. ධම්මික තුෂාර මහතාය.

ඔහුගේ බසයේ ගිය මගියකුට ඒ මුදල නැවත බාරදීම මහනුවර පොලිස් ස්ථානයේදී සිදුවිය.

බසයේ දමා යන බඩු අපට ලැබුණොත් කවදාවත් එය  අයිතිකරුට ලබානොදී ඉන්නේ නෑ. මේ තරම් මුදලක් අපට හමු වු පළමු අවස්ථාව මෙයයි. අපට අවශ්‍ය වුණේ නියම අයිතිකරුට මෙය ලබා දෙන්නටයි. ඒ සඳහා අපි මහනුවර පොලිස් අධිකාරි මහතාගේ සහය ලබා ගත්තා ඇත්තටම මේ කරන්න ලැබුණ දේ ගැන සතුටුයි.

ලහිරු දිල්ශාන් බස්රථයේ කොන්දොස්තර මහතා මෙසේ පැවසීය.

‘එදා අපි පානදුරෙන් පිටත් වුණේ පාන්දර හතරහමාරට මහනුවරට එනකොට  නවයහමාර වුණා. මගින් බැස්සට පස්සේ අපි මහනුවර දකුණු ඩිපෝවට බස්රථය ගෙන ගියා. ඒ වෙලාවෙ මම දැක්කා මගී ගමන්මලු රඳවන රාක්කයේ ගමන් මල්ලක් දමා ගොස් තිබෙන බව. තුෂාර අයියට කතා කර මම ඒ බෑග් එක පෙන්නුවා. අපි දෙන්නම එය ඇර බැලුවා. එහි ඇදුම් දෙකක් බැංකු පොත් දෙකක් හා මුදල් තියෙනවා අපි දැක්කා. ඇත්තටම මේ මුදල් දැක්කම අපිදෙන්නම පත් වුණේ ඊළඟට මොකද කරන්නේ කියන තැනට. අපි තිරණය කළා එය පොලීසියට බාර දෙන්න. බස් රියේ බෝඩ් පෙට්ටියට බෑග් එක දාලා අපි පොලීසියට බසයේම යන්න හදනකොට මනුස්සයෙක් බෑග් එක නැති වුණා කියාගෙන ආවා. ඔහු කිව්වා බෑගයේ ඇඳුම් තිබුණ බව. අපි කිව්වා බස් එකේ තියෙනවා නම් බලන්න කියලා ඔහු බස් එකේ බලලා ඇවිත් නෑ කිව්වා.  අපි ඔහුට කිව්වා පොලීසියෙ එන්ට්‍රියක් දාන්න කියලා. අපි ඔහුට එහෙම තිව්වේ මේ බෑගය ඔහුගෙමද කියලා හොයාගන්න. බෑගය ඔහුගෙම නම් ඔහු පොලිසියට යන බව අපි දැනගෙන හිටියා. ඒ අතරේ අපි මහනුවර පොලිස් අධිකාරි මහතා මුණ ගැහිලා විස්තරේ කිව්වා. ඔහු අපට ප්‍රසංශා කර මහනුවර ඕ අයි සී මහතාට යොමු කළා. අර බැගය සොයාගෙන ආ අය පොලිසියේ හිටියා. ඒ අනුව අදාල පුද්ගලයටම බෑගය දෙන්න පුළුවන් වුණා. ඇත්තටම මේ  ගැන සතුටුයි‘

L-BASAY2015122A-3 L-KOND2015122RA-2 vlcsnap-2015-12-02-15h12m35s157.

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ