( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණය තුලින් තම පාක්ෂිකයාටත්, රටටත් සාධාරණත්වය සහ යුක්තිය ඉටුවනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (12) කොළඹ අලුත්කඬේ පිහිටි උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී පැවසීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 13ක් ගොනු කළ අතර එම පෙත්සම් අධිකරණය හමුවේ සලකා බැලීමෙන් පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටයේය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් එමඟින් රට ආරාජික තත්ත්වය පත්වීමක් සිදුවන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
‘‘අපි තරයේ විශ්වාස කරනවා අපිට යුක්තිය , සාධාරණත්වය ඉතා නිවැරදි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙයි කියලා.මොකද ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඉතාම ගෞරවනිය ස්ථානයක් .මේ රටේ ව්‍යවස්ථාවක් පවතිනවා.අප සෑම දෙනාම ඒ අනුවයි කටයුතු කරන්නේ .නමුත් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.මෙලෙස දිගින් දිගටම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙන්නේ නම් රට අරාජික බවට පත්වනු ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා කීය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සහ හිටපු අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේ පැවසීය.
‘‘පක්ෂයක් ලෙස අපිට අධිකරණය විශ්වාසයි.පෙත්සමින් අපි ඉදිරිපත් කර ඇති කාරනයේ ව්‍යවස්ථානුකූලභාවය අධිකරණය විසින් තීන්දු කරාවි.ඒ නිසාමයි අපි උසාවිය පැමිණියේ.
හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
‘‘ඕපාදූප වලින් රට කරන්න බැහැ නේ.ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්න නම් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඕන.ඒක කර ගන්න බැරි නිසා විසුරුවා හැරියා.මේ අසාධාරණයට එරෙහිව අපි උසාවියට ආවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමෙන් පසුව එම පෙත්සම් සලකා බැලීම නැරඹීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර , රාජිත සේනාරත්න , ජෝන් අමරතුංග , චන්ද්‍රානි බණ්ඩාර , රවී කරුණානායක , ගයන්ත කරුණාරත්න , රාවුෆ් හකීම් , රිෂාද් බදියුදීන් , හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රුවන් විජයවර්ධන , නීතීඥ අජිත් පී.පෙරේරා , සුජීව සේනසිංහ , ආචාර්ය හර්ෂ ද සිල්වා , එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , මුජිබර් රහුමාන්,හර්ෂණ රාජකරුණා , ආදී මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණියහ.
වත්මන් භාරකාර අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන , උයද ගම්මන්පිල , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා , අරුන්දික ප්‍රනාන්දු , සුසන්ත පුංචිනිලමේ යන මහත්වරුන් පිරිසක්ද මෙම අවස්ථාවේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණියහ.
මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක්ද අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම දොරටුව ඉදිරිපස හා ඒ අවට රැඳී සිටියහ.

