‘අත කැඩීමේ පවට හවුල් වෙන්න එපා‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව මධ්‍යම පළාත් මහාමාර්ග,  විදුලිබලෙ, නිවාස හා ප්‍රවාහන අමාත්‍ය   එදිරිවීර වීරවර්ධන මහතා පැවසීය.

‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි දිනෙක දෙකඩ වෙන්නේ නෑ. ඒ සදහා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඩ දෙන්නේ නෑ.  ඒ වගේම ‍ මගේ විශ්වාසයේ හැටියට මහින්ද රාජපක්ෂ මහතාත් වෙනම පක්ෂ හදා පක්ෂය දෙකඩ කරන්න ඉදිරිපත් වන එකක් නෑ. එහෙම නැතිව පක්ෂයට සම්බන්ධ නැති පිරිසකගේ වුවමනාවට  වෙනම පක්ෂයක් හදන්න මහින්ද මහතා සහාය දුනහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හවුල් විමක් වෙනවා. මහින්ද මහතා අපි ගරු කරන නායකයකු ඒ නිසා අපි එතුමගෙන් ඉල්ලනවා ශ්‍රිලංකා නිදහස් පක්ෂය දෙකඩ කළ පාපයට හවුල් නොවී  ගෞරවාන්විතව විශ්‍රාම යන ලෙස.

අද මේ පක්ෂය දෙකඩ ‍ කර  වෙනම පක්ෂයක් හදන්න උත්සාහ කරන කිසිම කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවෙයි. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඔවුන්ගේ දෙශපාලන ගමන ගිය අයයි.   ඔවුන්ගේ  වුවමනාවට පක්ෂය කඩන්න කවුරුවත් ඉඩ දෙන්නේ නෑ.   මහින්ද රාජපක්ෂ  විශ්‍රාම ගියහොත් මේ සියලු දෙනාගේ ‍දේශපාලනය සුනාමියට හසු වුණා වාගේ  විනාශ වී යනු ඇති.  ඒ නිසාම තමයි ඔවුන් මේ විදිහට මහින්ද මහත්තයා ඉසස්රහට දාගෙන අලුත් පක්ෂයක් පිහිටවා ගන්න උත්සාහ කරන්නේ. ‘‘