‘අකුරට වැඩකිරීම යනු නියමිත වේලාවට වැඩ කිරීම - ලංකාවේ එය නොවීම කණගාටුවට කරුණක්‘


(මොහොමඩ් ආසික්)

ලෝකයේ වෙනත් රටවල අකුරට වැඩකිරීම යනු නියමිත වේලාවට වැඩ කිරීම වුවත් ලංකාවේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක් බව කතානායක  කරු ජයසූරිය මහතා පැවැසීය.

144 වන ලෝක තැපැල් දින උත්සවයට සහභාගී වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එසේ කීය.

මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (09) පැවැති  144 වන ලෝක තැපැල් දින උත්සවයට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ  ආරාධනයෙන් කතානායක කරු ජයසූරිය මහතා  සහභාගී විය.

මෙහිදී තව දුරටත් අදහස් දැක් වූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

       ‘‘තැපැල් සේවය ලෝකයේ පැරණි සේවයක්. එදා තැපැල් නිලධාරීන්ට විශාල පිළිගැනීමක් තිබුණා. ලෝකයේ  බොහෝ  රටවල තැපැල්  සේවය මේ වන විට නවීන තාක්ෂණය සමගින් මෙන්ම නව අංගයන් එකතු කිරීම මගින් අලුත් ගමනක් යන්න පටන් ගෙන තිබෙනවා.

අපේ රටෙත් තැපැල් සේවයට නව අංගයන් එකතු කරලා ඒ වගේම නවීන තාක්ෂණය හඳුන්වා දීම මගින් මහජනතාවට බරක් නොවන ආකාරයේ තැපැල් සේවයක් බිහි කරන්න ඕන.

ඒ සඳහා දැනටමත් තැපැල් අමාත්‍යාංශය සිය නිලධාරීන් පෙරටු කර ගෙන කරගෙන යන ක්‍රියාදාමය පැසසුම් කළයුතුයි. අපේ රටේ  බොහෝ දේවල් ගැන සතුටු වෙන්න පුළුවන් වුනත් සමහර දේවල් ගැන කණගාටුවක් ඇති වෙනවා.  ඇතැම් ස්ථානවල මාර්ග  අවහිර කරගෙන ටයර් පුළුස්සාගෙන  විවිධ උද්ඝෝෂණ කරනවා. මේවා ගැන සතුටු වෙන්න බෑ.

ලෝකයේ අනෙකුත් රටවල අකුරට වැඩ කරනව කියන්නේ නියමිත වේලාවට ඇවිත් නියමිත පරිදි වැඩ කරලා කියමිත වේලාවට පිටත්ව යාමයි. අටට වැඩ පටන් ගන්නවානම් අටට ඇවිත් හතරට අවසන් වනවානම් හතරට අවසන් කර යාමයි. නමුත් අපේ රටේ අකුරට වැඩ කිරීම යනු වැඩ නොකර සිටීම වීම කණගාටුවට කරුණක්‘‘ බවද කතානායකවරයා මෙහිදී කීය.