වැලිවේරිය සහ මල්වතුහිරිපිටිය පොලිස් වසම්හි ලබන 20 වැනිදා තෙක් වාහන පෙළපාළි, පුද්ගල පෙළපාළි සහ පස් දෙනකුට වැඩි පිරිසකගේ රැස්වීමේ පොලිසියේ අවසරයකින් තොරව පැවැත්වීම තහනම් කරමින් ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් සමරානි මුදලිගේ මහත්මිය අද (13) නියෝගයක් නිකුත් කළාය.
ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම පිණිස උද්ඝෝෂණ සහ පෙළපාළි තහනම් කරන්නැයි කියමින් ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා විසින් අද (13) දහවල් 12ට පමණ වැඩබලන මහේස්ත්‍රාත් හමුවේ කළ කරුණු දැක්වීමකට අනුව එම නියෝගය නිකුත් කැරිණි.
රතුපස්වල කර්මාන්ත ශාලාව වසා දමන්නැයි කළ උද්ඝෝෂණ නිසා වෙඩි වැදී තිදෙනකු මියගොස් ඇති බවටත්, ඌරුවල විහාරස්ථානයකට පහර දීමේ සිද්ධියක් පෙරේදා (12) වාර්තා වූ බවත්, උද්ඝෝෂණ හෝ පෙළපාළි පැවතියහොත් තවත් සිදුවීම් ඇති විය හැකි බැවින් සාමය ආරක්ෂා කර ගැනීම සඳහා නියෝගක් අවශ්‍ය බවත් කියමින් සහකාර පොලිස් අධිකාරී කරුණු දැක්වීය.