​‘දැරියගේ මරණයත් දේශපාලනයට : පිරිසක් බලයට එන්න ජාතිවාදය අවුළුවනවා‘


‘සමූහ දූෂණයකට ලක්වී කපා කොටා ඝාතනය කැරුණු දැරියකගේ මළ සිරුර සමහරුන් දේශපාලන අවස්ථාවාදයට භාවිතා කරන්න හදනවා. අපි දන්නවා තවමත් මේ රටේ ලේ පිපාසිත දේශපානඥයන් ඉන්නා බව. ඔවුන්ට බලය ලබා ගැනීමට ජාතිවාදය, ආගම් වාදය අවුස්සා ජනතාව කුපිත කර රට අස්ථාවර කරන්න හදන බව අපි දන්නවා.‘ යැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘හිටපු ජනපති පෙර දින මාධ්‍යයක කළ ප්‍රකාශයෙනුත් ඒ බව පැහැදිලි වෙනවා. ඔහුගේ කාලයේ දර්ගා නගරයේ කඩ පුච්චනකොට, මිනිස්සු මරනකොට මිනීමරුවන්ට පොලිසිය ලවා ආරක්ෂාව දුන්නා වගේ අපි කටයුතු කළේ නෑ. අපි පොලිසිය යෙදෙව්වේ ඉතා ප්‍රශස්ථ ලෙස සිවිල් සේනාවක් ලෙස සියලු ජනතා ආරක්ෂා කරන්නයි. මේ රට නැවත රාජිකත්වයට ගෙනියන්නට හිටපු ජනපති හිරකරගෙන සිටින ලේ පිපාසිත ජාතිවාදී කණ්ඩායම් වලට අපි ඉඩ දෙන්නේ නෑ කියන පණිවිඩයයි අපි දෙන්නේ. ඔහු පෙරදින කදා කළේ මේ රටේ වුණු එකම අපරාධය මෙය විදියට හුවා දක්වමින්.‘

ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන -

‘මේක මේ  දැරියක ඝාතනය වීම නිසා කෝප වී ජනතාව පාරට බැහැලා කළ උද්ඝෝෂණයක්. මේක මේ ජාතිවාදයක්වත්, හමුදාවට විරුද්ධ වීමක්වත්, රජයට විරුද්ධ වීමක්වත් නොවෙයි. මං කණගාටු වෙනවා, අපේ හිටපු ජනාධිපතිතුමා මේ දිනවල පංසල් ගානේ යනවා  මල් පූජා කරමින්. එතුමා පිං ගන්නවාට වඩා බොරු කියලා පව් පුරවා ගන්නවා විතරයි. එතුමා කියා තිබෙනවා දැන් යාපනේ කොටි සැමරුම් පවත්වන බව. එල්ටීටීඊ සංවිධානය කියන්නේ තහනම් සංවිධානයක්. ත්‍රස්තවාදී සංවිධානයක්. මේ කතා කරන පිරිසිට රට ගැන ආදරයක් නෑ. ඔවුන්ට තිබෙන්නේ බලයට කෑදරකමක්. ජාතිවාදය අවුස්සා එළියට දමා බලයට එන්නේ කොහොමද කියලයි බලන්නේ.‘

හිටපු ජනපති කළැයි කියන ප්‍රකාශය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා ද විවේචනය කළේය.