​කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසා දමයි


(සිරංගිකා ලොකුකරවිට)

 
ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවක් කොරෝනා ආසාදිත බව තහවුරුවීම හේතුවෙන් රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය (23 වාට්ටුව) අද (09) තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර තිබේ.

ඒකකයට පැමිණෙන සහ වෙනත් වාට්ටුවලින් යොමුකරන සියලුම රෝගීන් ඉදිරි දින 14ක කාලයේ දී උණවටුන රෝහල වෙත යොමුකිරීමට ද පියවර ගෙන ඇත.  

ආසාදනය වූ කාන්තාව පසුගිය 02 දා වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය රෝහලට ඇතුළත්ව ඇති අතර ඉන් පසු 23 වාට්ටුවට මාරුකර තිබිණි.

එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් ඇය පීසීආර් පරීක්ෂණයකට යොමුකර ඇත. එහි ප්‍රතිඵල අද (09) උදෑසන ලැබුණු අතර ඉන් සනාථ වූයේ 53 හැවිරිදි ඇය කොරෝනා ආසාදිත රෝගියකු බවයි.

ඒ මොහොතේම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසා දැමීමට කටයුතු කළ බව එහි වෛද්‍යවරු පවසති.

වාට්ටුව වසා දමන විට එහි නේවාසික රෝගීන් 10 දෙනකු සිටි බව වෛද්‍යවරු කියති. මේ වනවිට වාට්ටුවේ සිටින කිසිවෙකුට පිටතට යාමට හෝ පිටතින් කිසිවෙකුට ඇතුළට පැමිණීමට අවසරයක් නොමැති අතර මානසික ආබාධ සඳහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් මෙහි සිටින බැවින් ඔවුන්ට වාට්ටුවේම දින 14ක කාලයක් නිරෝධායනය කිරීමට කටයුතු යොදා ඇත