හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනුන තිලකරත්න අද (19) කොළඹ මහාධිකරණයට භාර විය.
ව්‍යාජ සමාගමකින් යුද හමුදාවට අවි සැපයීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියේ 2010 වසරේ දී ය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පොල් රතු නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
ෆොන්සේකාගේ දියණියක සමග විවාහ වී සිටින ඔහු එතෙර පදිංචිව සිටියේය.
ඔහු රුපියල් ලක්ෂ හතරක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අයිරාංගනී පෙරේරා මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
සුවිශේෂ කරුණු මත ඔහුට ඇප දෙන්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියේය. එසේ ඇප දීමට විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේය. හයිකෝ ප්‍රයිවට් කම්පැනි නමින් සමාගමක් පිහිටුවාගෙන බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කම්පැනියේ නියෝජිතවරුන් බව කියමින් මහජන මුදල් වංචා කළැයි ධනූන සමග වෙලිංග්ටන් දි හෝඩ් හා සරත් ෆොන්සේකාට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව ගොනු කැරිණි. එසේ උපයාගත් බව කියන මුදල් ධනූන තිලකරත්න නමින් ඇමෙරිකා බැංකුවක තැන්පත් කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.
ඇප කරුවන් තම මවුපියන් විය යුතු බව විනිසුරුවරිය නියෝග කළාය. පිටරට යෑම ඔහුට තහනම් කැරුණු අතර මාසයකට වරක් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය. ඔහු උසාවියට බාර කළ නීතිවේදී නිරෝෂණ පෙරේරා මහතා පැවසූයේ සිය ආරක්ෂාව පතා ඔහු සැඟවී සිටි බවයි.
ඔහුගේ මාමණ්ඩිය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වසර 1 1/2 ක් සිරගෙට යැවූ බවත් එසේ වූයේ මහින්ද රාජපක්ෂ ජනපතිට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා බවද ඔහු කීවේය. ඉන් පසු ධනුන ඕස්ට්‍රේලියාවේ බ්‍රිටිෂ් බෝනියෝ ඩිෆෙන්ස් කම්පැනි නමින් ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර යුද හමුදාවට වංචාවක් කළැයිද ඔහුගේ මව සහ ආච්චිට එරෙහිව නඩු පවරා ඇතැයිද නීතිඥවරයා කරුණු දැක්වීය.






