ෆොන්සේකාගේ අපේක්ෂක රියේ බැඳ දාලා


සරත්  ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපෙක්ෂක කේ.ඒ නිශාන්ත මහතා අත පය ගැට ගසා කටද බැඳ ඔහුගේ රියේම සිහිසුන්ව සිටියදී සොයාගත් බව පොලීසිය කියයි.

වැලිපැන්න අරියවංශගම දී අද අලුයම සොයා ගත් ඔහු වෑත්තෑව රෝහලට ඇතුළු කිරීමෙන් පසුව කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බවත්, වරින් වර සිහිය එන බවත් වෛද්‍යවරු කියති.

ඔහුගේ බිරිය නීතීඥ මාධවී සපරමාදු මහත්මිය පැවසුයේ තමාට පහර දුන් බව සිහිය එක් අවස්ථාවක දී සැමියා කී බවයි.

නිශාන්ත මහතා බැඳ දමා සිටි රියේ ආසනයක් ඉව කළ පොලිස් නිල සුනඛයා කැලෑවක් හා රබර් වත්තක් මැදින් කිලෝ මීටර එක හමාරක් දුර ගොස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ තවත් අපේක්ෂකයකුගේ ආධාරකරුවකු බව කියන පුද්ගලයකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි.

එම ආධාරකරු ගෙදර නොසිටි බව කියන පොලිසිය පෙර දින එම නිවසේ ඡන්ද රැස්වීමක් පවත්වා ඇති බව ද පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලාංඡණය සහිත ටීෂර්ටයකින් නිෂාන්ත මහතාගේ කට බැඳ දමා තිබිණි.

අඩු ගණනේ හතර පස් දෙනකුවත් නිෂාන්ත මහතාට පහර දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.