එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ පත්වීම හා එම ධූරයේ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්,එබැවින් එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා,කතානායක,මැතිවරණ කොමිසමේ සභාපති, පාර්ලිමේන්තු මහලේකම්,නීතිපති ඇතුළු අට දෙනෙකි.
නීතීඥ විරාන් කොරයා මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු යෝජනා නාමාවලියේ නොසිටි සරත් ෆොන්සේකා පත් කිරීමෙන් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වීමක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 19 අ වගන්තීන් උල්ලංඝනය වීමක් සිදුවී ඇති බවද පෙත්සම්කරු කියා සිටී.

