ෆේස්බුක් මිතුරෝ පාසල් දෙකකට උදව් කරති


ෆේස්බුක් මිතුරෝ පිරිසක් ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට සහ වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයට ගොස් ළමයින්ට සහ ගුරුවරුන්ට අධ්‍යාපන උපකරණ බෙදා දුන්හ.

පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයේ සිසු සිසුවියන් 57 දෙනෙක් සහ ගුරුවරු හය දෙනෙක්  ද, වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයේ සිසුන් 34ක් සහ ගුරුවරු පස් දෙනෙක් සිටිති.

ධනේෂ් මදුරංග එදිරිසූරිය නම් තරුණයාගේ අදහසකට අනුව ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් ‘සමාජ සත්කාර ඩොට් එල්කේ‘ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඔවුහු මාස ගණනක සිට සමාජ සත්කාර කිහිපයක්ම සිදු කළහ.

දුර බැහැර දුප්පත් පාසලකට උදව් උපකාර කිරීමට අවශ්‍ය බවට ෆේස්බුක්හි පණිවිඩයක් පළකිරීමෙන් පසු ලැබුණු තොරතුරු අනුව  ෆේස්බුක් මගින් හැඳින ගත් දිනේෂ් කුමාර විජේසේකර නම් මිතුරකු සමග ධනේෂ් යතුරු පැදියකින් ගලේවෙල ගොස් පාසල සොයාගෙන විදුහල්පති හමුවී සාකච්ඡා කළේය.

පාසලේ ඡායාරූප හා විස්තර ෆේස්බුක්හි පළකළ අතර එය දුටු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමාණ සමීක්ෂකයන්ගේ එකමුතුව එම පාසලට හා ළමයිනට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සඳහා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක් පරිත්‍යාග කර තිබිණි.

තවත් ෆේස්බුක් මිතුරන් තුන් හාරසියයකගේ උදව්වෙන් අධ්‍යාපන උපකරණ රැගෙන පාසල් දෙකට ගිය ඔවුහු පාසල් දෙකේ සියලු සිසුන්ට අධ්‍යාපන උපකරණ බෙදා දුන් අතර එක් සිසුවකුට රුපියල් හය දහසක කට්ටලයක් ලැබිණි.

සෑම සිදුවකුටම පොත් බෑගයක්, සපත්තු ජෝඩුවක්, මේස් ජෝඩුවක්, පොත්, පෑන්, පැන්සල්, වතුර බෝතල්, කෑම පෙට්ටි, කතුරු ඇතුළු උපකරණ රැසක් ඇතුළත් කට්ටලයක් ලබා දුන් අතර ගුරුවරුනට කලිසම් රෙදි සහ සාරි පිරි නැමිණි.

ඊට අමතරව පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට පුස්තකාල අල්මාරියක්, පරිගණකයක්, මුද්‍රණ යන්ද්‍රණක් හා වතුර පෙරුම් උපකරණයක් ද පරිත්‍යාග කළහ.

21(28)

 20(36) 19(34) 18(30) 17(44) 16(37) 15(42) 14(44)