ෆුල් ෆේස් හෙල්මට් තහනමක් නැතැයි යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් කියයි


යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස් වැසුම් පැළඳීමේදී අනුගමනය කළ යුතු නීති සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයෙන් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර නොමැති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පවසයි.

අඳුරු නොකළ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ඕනෑම තැනක යා හැකි බවත් එවැනි අවස්ථාවක පොලිස් නිලධාරීන්ගෙන් ගැටලුවක් ඇතිවුවහොත් 0773083479 අංකයට දැනුම් දෙන ලෙසත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රවාහන අමාත්‍යංශය පසුගිය සිකුරාදා (24) නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින් යතුරුපැදිකරුවකු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳිවිට එහි කිසිදු කොටසකින් එම තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපැහැදිලිවීමක් හෝ සැඟවීමක් නොවිය යුතු බව සඳහන් කර ඇතැයි ද ආරක්ෂක හිස් වැසුමක වර්ණය පැහැදිලිව පෙනෙන බාහිර මතුපිටින් කිසිදු ආලෝක පරාවර්තනයක් නොවන එකක් විය යුතු බව ද අමාත්‍යංශය එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇතැයි ද අමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. 
පසුගිය වසරේ ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් පැනවූ නීතියට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර මේ වනවිටත් අධිකරණය විසින් එම තහනමට වාරණයක් පනවනු ලැබ ඇත.