ළිං වතුරේ ඇසිඩ් ප්‍රශ්නයට මිනී පෙට්ටියකුත් එයි


වැලිවේරිය රතුපස්වල ළිං ජලය අපවිත්‍රවීමට පිළියම් සොයා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසු ගම් වැසියෝ කම්හල ඉදිරිපිට මීනී පෙට්ටියක් ද තමාගෙන විරෝධතාවේ නිරත වෙති.

සඳුදා රාත්‍රීයේ ඔවුහු එහි ආහ. තුන්දහසක පමණ පිරිසක් විරෝධතාවේ නිරත වෙති.

පාරේ මැද ලිප් බැඳ උදේ ආහාරයට පිළියෙළ කර ගත්හ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණි උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළ අතර එම සාකච්ඡා අසාර්ථක වූ බව ගම් වැසියෝ කියති.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ කැරළි මර්දන අංශයේ 500ක් පමණ ආරක්ෂාවට යොදවා සිටිති.

ප්‍රශ්න විසඳා දීම සඳහා කිසිදු නිලධාරියකු හෝ දේශපාලනඥයකු නොපැමිණි බව ද උද්ඝෝෂකයෝ කියති.

තෙරි පැහැ සිරිධම්ම හිමියන්ගේ උපවාසයේ තෙවැනි දිනය අදයි.

කම්හලේ මෙහෙයුම් කළමනාකරු උදිත සේනාරත්න මහතා පැවසුවේ ලෝකයේ අත්වැසුම් නිෂ්පාදන කම්හල් අතරින් හතර වැනි තැනට සිටින කම්හල තම කම්හල බවයි.

පරිසර හිතකාමී කර්මාන්තයක් ලෙස තම කම්හලට සම්මාන හිමිවී ඇති බවත්, නියමිත ප්‍රමිතියට අනුව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සිදුවන බවත් ඒ මහතා සඳුදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේදී පැවසීය.