ළමා වරදකරුවන් පුනරුත්ථාපනයට ජාතික ප්‍රතිපත්තියක්


(අංජුල මහික වීරරත්න)

ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වන ළමයෙකුගේ අපචාරකාරී හැසිරීම හඳුනාගෙන ඔහුට/ ඇයට සමාජයේ නීති ගරුක පුරවැසියකු ලෙසට ජීවත් වීමට ඉඩ සැලසීම ළමා පුනරුත්ථාපන ක්‍රියාවලියේ මූලික අරමුණකි. 

ඒ අනුව, නීතිය ඉදිරියේ වරදකරුවෙකු බවට පත් වූ ළමයෙකු සම්බන්ධයෙන් පියවර ගැනීමේදී, වරදේ ස්වභාවය අනුව සමථකරණය, අවවාද කොට නිදහස් කිරීම, කොන්දේසි සහිතව නිදහස් කිරීම, විවෘත පරිසරයේ තබා පුනරුත්ථාපනය කළ හැකි ළමා වරදකරුවන් පරිවාස භාරයට පත් කිරීම, ප්‍රජා විශෝධන සේවය යටතේ පුනරුත්ථාපනය කිරීම සහ රැඳවුම් නිවාස වල රඳවා තැබීම සිදු කරනු ලබයි.

 නීතිය ඉදිරියේ වරදකරුවන් වන ළමුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආර්ථික සහ සමාජ පසුබිම පිළිබඳව අධ්‍යයනය කොට, එවැනි ළමුන් පුනරුත්ථාපනය කිරීම පිළිගත් ජාතික ප්‍රතිපත්තියකට අනුව සිදු කළ යුතු බවට හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, රජය, සංවර්ධන පාර්ශ්වකරුවන් සහ එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල (UNICEF) යන ආයතනවල දායකත්වයෙන් "ළමා වරදකරුවන් පුනරුත්ථාපනය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය '' කෙටුම්පත් කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.