අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව පාසලට ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, එම මුදල් විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව පාසලක විදුහල්පතිවරයකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තු ආරංචි කියයි.
පෞද්ගලික බැංකුවක ඇති එම ගිණුමට බැර කර ඇති මුදල රුපියල් ලක්ෂ 90කට ආසන්න බවට හෙලිවී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි සඳහන් කරයි.
පාසලේ පවතින පුරප්පාඩු සඳහා දෙක ශ්‍රේණියේ සිට දහය ශේණිය දක්වා සිසුන් ඇතුළත් කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් විදුහල්පතිවරයා අධ්‍යාපන ලේකම්ට යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පසුගිය අගෝස්තු 26 වැනිදා අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පති නිර්දේශ යටතේ සිසුන් 91 දෙනකු ඇතුළත් කර ගැනීම අනුමත කරන බව ලිඛිතව විදුහල්පතිට දන්වා ඇත.
දෙක ශ්‍රේණියට සිසුන් 35ක් ද, තුන ශ්‍රේණියට හතක් ද, හතර ශ්‍රේණියට හතරක් ද, හත ශ්‍රේණියට 21ක් ද, අට ශ්‍රේණියට 13ක් ද, නවය ශ්‍රේණියට හතක් සහ දහය ශ්‍රේණියට සිසුන් හතරක්ද ඇතුළත් කිරීම අධ්‍යාපන ලේකම් විසින් අනුමත කැර ඇත.
ඒ අනුව ඇතුළත් කර ගත් සිසුන් බහුතරයකගෙන් එලෙස මුදල් එකතුකර ගෙන ඇතැයි කියති. එම මුදල ලබා ගෙන ඇත්තේ පාසල් කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුම් අංකය ලබා දී එම ගිණුමට මුදල් බැර කරන ලෙස දන්වමිනි.
අධ්‍යාපන ලේකම්ගේ එම ලැයිස්තුවේ අංක 78 යටතේ සිටින සිසුවා අට බී ශ්‍රේණියට ඇතුළත් කරගෙන ඔහුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අයකර ගෙන ඇති අතර ඔහුගේ මව කටුබැද්දේ පෞද්ගලික බැංකු ශාඛාවකින් එම මුදල කණිෂ්ඨ ආදිශිෂ්‍ය අංගමයේ ගිණුමට බැර කර ඇත.
හදිසි අවශ්‍යතාවක් මත එම දරුවා වෙනත් පාසලකට ඇතුළත් කිරීමට දෙමාපියන්ට අවශ්‍ය වූයෙන් එලෙස ලබා ගත් රුපියල් ලක්ෂයක මුදල නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් දරුවාගේ මව පසුගිය සැප්තැම්බර 27 වැනිදා විදුහල්පතිට ලිඛිතව දන්වා ඇති බවත්, එම මුදල තමා සොයා ගත්තේ ඉතා අමරුවෙන් බව දන්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව එම රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් පනස් දහසක මුදලක් නැවත ලබා දීමට විදුහල්පති අනුමැතිය දී ඇත. මේ සිද්ධියත් සමග මුදල් අයකිරීම ගැන තතු හෙළි වී තිබේ.
නීත්‍යනුකූලව පිළිගන්නා ප්‍රධාන ආදිශිෂ්‍ය සංගමයක් තිබියදී කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ නීත්‍යනුකූල නොවූ ගිණුමකට මුදල් බැර කිරීම සම්බන්ධයෙන් සහ තවත් කාරණා කිහිපයකට විරෝධය පාමින් එම විදුහලේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික වරයා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.
අධ්‍යාපන ලේකම්ගේ 2008/41 චක්‍රලේඛයේ දෙවැනි වගන්තිය අනුව ආදි ශිෂ්‍ය සංගමයට හෝ වෙනත් සංවිධානයකට හෝ පාසලට ඇතුළත් වෙන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය කර ගත නොහැකි බව සහ එලෙස මුදල් ලබා ගන්නේ නම් විදුහල්පතිවරුන් එයට වග කිව යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් බවත් අධ්‍යාපන අමාතයංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.