ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති ප්‍රශ්නෝත්තර තරගාවලියකින් ජයග්‍රහණය කළ දරු දැරියෝ 50 දෙනෙක් කටුනායක සිට මත්තල ගුවන්තොටුපොළ තෙක් අද ගුවනින් ගියහ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය මේ ගමන සංවිධානය කළේය.
වව්නියාව, බිබිල, අම්පාර ඇතුළු විවිධ ප්‍රදේශවලින් පැමිණි දරු දැරියෝ ඊට එක්වූහ.
සාමාන්‍ය ගුවන් ගමනක අත්දැකීම් ඔවුහු ලැබූහ.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 828 ගුවන්යානය කටුනායක සිට මත්තල හරහා චීනයේ බෙයිජින් නුවර බලා යාමට සුදානම් කර තිබිනි. චීන ජාතිකයන් රැසක් ගමන් ගත් එම යානය දහවල් 12.10ට ගුවනට පිවිසියේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් මැද්දේය.
මෙම බොහෝ දරුවන් කිසිදා ගුවන්තොටුපොළක්වත් දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත් ඔවුහු ගුවන්යානයේ කවුළු වලින් සිරි නරඹමින් පැවසූහ.
මගීන් 256 දෙනකුට ගමන් කළ හැකි මේ යානයේ ප්‍රධාන නියමුවා ලෙස කපිතාන් සුජිත් ජයසේකර ද, සහාය නියමුවා ලෙස ප්‍රකාශ් ගුණසේකර ද වූහ.
විනාඩි 25 ක ගුවන් ගමනකින් පසු යානය මත්තලට ළඟා විය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 114 ගුවන් යානයෙන් සවස 2.15ට පමණ ඔවුහු යළි කටුනායකට ආහ.

























