ළඟ හිටපු නිලධාරියාගෙනුත් ජනපතිට එරෙහිව පෙත්සමක්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවට හා මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධූරයට පත්කළ බවට ප‍්‍රකාශිත ගැසට් නිවේදන අහෝසි කරන ලෙස ඉල්ලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂක  ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  (27) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ජනාධිපති හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂක  ඕෂල හේරත් මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනා නම් කරනු ලැබ ඇත.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු මීට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති වලට සහයෝගය දැක්වූ අයෙකි. වර්තමානයෙහි රටෙහි ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් රටෙහි ආර්ථික අර්බුදයක්ද නීර්මාණය වී තිබේ.

ජනාධිපතිවරයා විසින් ගෙන ඇති මෙම දේශපාලන තීන්දු සහ තීරණ හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇත. එම තීරණ හා තීන්දු නීතීයට හා ව්‍යවස්ථාවට පටහැනිය.

මෙම තීන්දු තීරණ නිසා රටේ ජනතාවගේත් පෙත්සම්කරුවන්ගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇත.තවද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලය අඩුකර ඇති බවද පෙත්සමේ සඳහන් වේ.
එම නිසා වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද මෙම පෙත්සම් විභාගයට අවසර ලබා දෙන ලෙසද ,අදාළ ගැසට් නිවේදන අත්හිටුවන්නැයි නියෝග කරන ලෙසත් , එම ගැසට් නිවේදන බලරහිත කරන ලෙසද , එම ගැසට් නිවේදන වලින් ප‍්‍රකාශිත කරුණු නීතිවිරෝධී බවට තීන්දු කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සම් වලින් ඉල්ලා ඇත.