හෝමාගම ප්‍රා.මන්ත්‍රීට වෙඩි තැබූ හිටපු සෙබලා අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන් කොටුව මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදාව විශේෂ බලකායේ හිටපු සෙබළුකු බව පොලිසිය කියයි.

එම සැකකරු සමග අයිස් මත්ද්‍රව‍ය ගෑම් 6 ක් , නයින් එම් එම් උණ්ඩ දැමිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් , එම උණ්ඩ හතරක්  හා ෂොට් ගන් එකක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් 12 වෙනි හිටපු මන්ත්‍රීවරයා ස්කූටි වර්ගේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි මෙම සැකකරු සහ තවත් පුද්ගලයකු මීගොඩ නඳුන් උයන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.

එහි රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා එදිනම තලංගම පොලිසිය මගින් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සහ මෝටර් රථය සමග අත්අඩංගුවට ගැනිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව හම්බන්තොට නාගරගම වාඩියක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.