හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ නිල ආරක්ෂක පොලිස් කොස්තාපල් මිහින්ද තිස්ස රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් පනස් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
හෝමාගම දිස්ත්‍රික් උසාවියේ නඩුවක තීන්දුවක් පාර්ශ්ව කාරියකට වාසි සහගත ලෙස ප්‍රකාශ කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි දිසා විනිසුරු හා ආරක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
තම සේවාදායකයා අල්ලස් හෝ දූෂණ කොමිසමට සිය මුල් ප්‍රකාශය කළේ බලපෑම් මත යැයි හිටපු දිසා විනිසුරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් ඉල්ලා සිටියේ දෙවැනි ප්‍රකාශයක් කිරීමට අවසර දෙන ලෙසයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සැරයන් ජී චන්ද්‍රසිරි ඊට විරුද්ධ විය.
නීතිය මැනවින් දැන සිටින සැකකරු මෙවැනි ඉල්ලීමක් කිරීම පුදුම සහගත යැයි ද ඔහු කීවේය.
හිටපු දිසා විනිසුරුට අලුතින් ප්‍රකාශයක් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා එම ප්‍රකාශය ඇතුළත් වාර්තාව සැප්තැම්බර් පළමු වැනිදා උසාවියට ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග කළේය.